slc
logo
Home   |    News
සැප්තැම්බර් 13, 2025
කොදෙව් යෞවනයෝ එක්දින තරගාවලිය ජය ගනිති

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති 6 වැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබූ කොදෙව් ‍යොවුන් ක්‍රීඩකයෝ

තරග 7කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරි ව තිබිය දී  4 – 2ක් ලෙස පෙරමුණට පැමිණීමට සමත් වූහ.

ඇන්ටිගුවාහී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පැවැති 6 වැනි තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොදෙව් යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිලේ ආරාධනාව අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබාගත් අතර, එම ඉලක්කය කොදෙව් ක්‍රීඩකයෝ පන්දු 8ක් ඉතිරි ව තිබියදී කඩුලු 6ක් දැවී ලකුණු 289ක් ලෙස සටහන් කළහ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත සමත්වූ අතර, ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 114ක සබඳතාවක් ගොඩනඟා තිබියදී අර්ධ ශතකයට ලකුණක් අඩුව තිබියදී මහවිතාන ලකුණු 49කට දැවී ගියේය. ඔහු පන්දු 61කදී හතරේ පහර 5ක් එල්ල කළේය.

අනතුරුව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 28ක් එක් කිරීමට විරාන් චමුදිත සහ සෙනුක වැකුණුගොඩ සමත්වූ අතර, වැකුණුගොඩ පන්දු 25කට මුහුණදී හතරේ පහරක් සමඟ ලකුණු 12ක් ලබා ගත්තේය.

අගනා මෙහෙවරක නිරත වූ විරාන් චමුදිත ශ්‍රී ලංකා ඉනිම ලකුණු 187ක් ‍වෙද්දී දැවීගිය අතර, ලකුණු 88ක් ලබාගත් ඔහු පන්දු 85කට මුහුණදී හතරේ පහර 10ක් එක් කිරීමට සමත් විය. හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 19ක් ලබාගත් කවිජ ගමගේ දැවීගිය අතර, නායක විමත් දින්සර පන්දු 57කදී හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 58ක් ලබා ගැනීමෙන් ලකුණු පුවරුව ඉහළ ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ බටහිර ඉන්දීය කොදෙව් යොවුන්  ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ ම දවා ගැනීමට සෙත්මික සෙනවිරත්න සමත්වූ අතර, අනෙක් අන්තයේ සිටි ආරම්භක පිතිකරු ට්‍රයිරික් බ්‍රයන් පන්දු 90කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.

අංක තුන පිතිකරු සැචාරි කාටර් පන්දු 27කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ ඉක්මන් ලකුණු 31ක් ලබාගත් අතර, මෙම එක්දින තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ජෝසුවා ඩෝන් පන්දු 89කදී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 95ක් ලබා ජයග්‍රහණයට සවිමත් අඩිතාලමක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපහසුතාවට පත්කළ අංක 7 පිතිකරු ජොනතන් වෑන් ලෑන්ග් පන්දු 43කදී හයේ පහර 4ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 50ක් ලබා සිටියදී පන්දු යැවූ විග්නේස්වරන් ආකාෂ් උඩ පන්දුවක් රැක ගැනීමෙන් ක්‍රීඩාගාරයට ගියේය.

‍කෙසේ වුවද පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 21ක් ලබාගත් ෂාකුආන් බෙලී තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. විග්නේශ්වරන් ආකාශ් ලකුණු 41කට කඩුලු 3ක් හා සෙත්මික සෙනෙවිරත්න  ලකුණු 40කට කඩුලු 2ක් ලබා ගත්හ.

දෙරට අතර 7 වැනි සහ අවසන් යොවුන් එක්දින තරගය මේමස 15 වැනිදා ඇන්ටිගුවාහී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.  

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 287 (50) යි

දිමන්ත මහවිතාන 49, විරාන් චමුදිත 88, සෙනුජ වැකුණගොඩ 12, කවීජ ගමගේ 19, විමත් දින්සර නොදැවී 58, ජේසන් ප්‍රනාන්දු 15, සේතමික සෙනෙවිරත්න නොදැවී 18 (ජෝසුවා ඩෝන් 36/2)

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 289 (48.4)

ට්‍රයිරික් බ්‍රයන් 52,  සැචාරි කාටර් 31, ජෝසුවා ඩෝන් 95, ජොනතන් වෑන් ලෑන්ග් 50, ෂාකුආන් බෙලී නොදැවී 21 ( විග්නේශ්වරන් ආකාශ්  41/3, සෙත්මික සෙනෙවිරත්න 40/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee