ලෝක කුසලාන ඉතිහාසයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පිරිමි ලෝක කුසලාන තරගාවලියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රෙය් වේගවත් නැගීමක් පෙන්නුම් කරමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද මේ වන විටත් සැලකිය යුතු මට්ටමින් ප්‍රගතිය කරා පැමිණ සිටියි. මෙම දෙඅංශයේ වර්තමාන ක්‍රිකට් වල තත්ත්වය එවන් තලයක පැවැතියද එහි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවල අතරින් වැඩිම ඉතිහාසයකට උරුමකම් කියන්නේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව යැයි කිවහොත් පිළිගත හැකි කරුණක් වන්නේද..? එහෙත් සැබෑව එයයි. පිරිමි අංශයේ ලෝක කුසලානයක් ප්‍රථමයෙන්ම දිග හැරෙන්නේ 1975 වසරේ වුවත් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් ඊට අවුරුදු 2කට පෙර හෙවත් 1973 වසරේදී ආරම්භ ව තිබේ. එම වසරේදී භෞතීස්ම ලද මෙම කාන්තා ලෝක කුසලානය මෙම සැප්තැම්බර් මස 30 වැනිදා සිට දිග හැරෙන්නේ 13 වැනි වතාවට වේ.
එම තරගාවලිය ආරම්භයට දින 4 ක් තිබියදී මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන රටවල නායිකාවන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී සහ බෙංගලාරුහිදී මාධ්‍ය හමුවක් පැවැත්විණ. තරගාවලියේ පළමු නිල මාධ්‍ය දිග හැරුම වශයෙන් පැවැති මෙම මාධ්‍ය නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නායිකාව සඳහන් කර සිටියේ, මෙවර තරගාවලියේදී දැවැන්ත හීන නොමැති නමුත්, අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීම තමන් ඇතුළු කණ්ඩායමේ එකම අභිප්‍රාය වී තිබෙන බවයි.
මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තම මව් රටේ ක්‍රීඩාංගණය වන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග 5 කට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවන බවත්, තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ හොඳින් තරග වදිමින් මෙතෙක් කලක් උදාකරගත නොහැකිව තිබෙන අවසන් කණ්ඩායම් 4 අතරේ තරග වටයට පිවිසීමට බලාපොරොත්තු වන බවයි.
“අපිට මුලින් තියෙන තරගයක මොකද්ද… අපි හිතන්නේ ඒ තරගය ගැන විතරයි. මොකද ගොඩක් දුරට හිතන්න ගියහම අපිට එන පීඩනය අපිටම දරා ගන්න අමාුයි. එකම අරමුණ අපි අපිට ආවේණික ක්‍රීඩාවේ නිරතවීමයි“ යැයි චමරි පැවැසුවාය.
“මේ වෙලාවේදී අපිට අපේ ප්‍රේක්ෂකයින්ගේ සහයෝගය ඉතා වැදගත්. දඹුල්ලේදී අපි ජයග්‍රහණය කළ ආසියානු කුසලාන තරගාවලියේදී ලැබුණු ප්‍රේක්ෂක සහයෝගයම මම මේ ලෝක කුසලාන තරගාවලියේදීත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග වදිනකොටත් ඒ විදියටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා“ යැයිද චමරි ක්‍රීඩා ලෝලීන් වෙතද තරග නැරඹීමට පැමිණෙන ලෙස ඉඟියක් කළාය.
2000 වසරේ සිට පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලි 5 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් ලබා ඇති ඉහළම ජයග්‍රහණය වන්නේ ඉන්දියාවේදී 2013 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානයට පත්වීමය. ඒ අනුව ඔවුන් මෙතෙක් අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබා නොමැත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගට ප්‍රබල ඉන්දියාවට එරෙහිව මේ මස 30 වැනිදා ඉන්දියාවේ ගුහාතිහිදී සහභාගිවනු ඇත. එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිත වුවත් එහි පළමු වැන්නට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා බලාපොරොත්තු වූ පුහුණුවක් ලබාගත නොහැකි විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට හිමි දෙවැනි පුහුණු තරගය හෙට (27 වැනිදා) කොළම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 3.00 සහභාගිවනු ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායිකාව මෙසේද සදහන් කර සිටියාය. “ඇත්තටම වෙනදා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කරනවා වඩා වැඩි සැහැල්ලුවකින් මේ තරගාවලිය ක්‍රීඩා කරන්න පුලුවන්. මොකද මාත් එක්ක ඉන්න තරුණ ක්‍රීඩිකාවන් කළින්ට වඩා හොඳින් දැන් ක්‍රීඩා කරන නිසා“ යනුවෙනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම අත්දැකීම් සම්භාරයක් මෙන්ම වාර්තා රැසකටද හිමිකම් කියන චමරි අතපත්තු මේ ගෙවා දමමින් සිටින්නේ 16 වැනි වසරය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක්දින තරග 115 කට ක්‍රීඩා කර ඇති චමරි රැස් කර ඇති ශතක සංඛ්‍යාව 9 කි. ඇයගේ නම ඉදිරියෙන් ලකුනු 3877 ක් ලියැවී තිබෙන්නේ එම එක්දින තරග අංශයේදී ශ්‍රී ලංකා පිතිකාරිණියක් රැස් කර ඇති වැඩිම ශතක සහ ලකුණු සංඛ්‍යාව ලෙසිනි.
වමතින් පිත්ත හසුරුවන චමරි ප්‍රහාරාත්මක පිතිකාරිණියකි. ආක්‍රමණිකත්වය පිළිබඳව නිරන්තරයෙන්ම ඇය රුචිකත්වයක් දක්වනු ලබන අතරම මෙවර තරගාවලියේදීද එම ආක්‍රමණශීලී පිතිහරඹයේ නියැළීමට ඇය නොඉවසිල්ලෙන් බලා සිටින බව ඇය මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියාය.
“අපේ කීඩිකාවෝ හොඳින් ක්‍රීඩා කරන නිසා මට පුලුවන් යළිත් මගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට පිවිසෙන්න. ඒ කියන්නේ පළමු පන්දුවාර කීපයේදී ආක්‍රමණශීලී පිතිහරඹයට පිවිසිලා ඊට පස්සේ දිගු ඉනිමකට යන්න“ යැයි ඇය පවසා සිටින්නීය.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ සිටය. ගිය වර ලෝක ශූරියන් වූ ඔස්ට්‍රේලියානු පිල එම සටහනේ පෙරමුනේ පසුවන අතර, එංගලන්තය දෙවැනි ස්ථානයේත් සත්කාරක ඉන්දියාව තෙවැනි ස්ථානයෙත් පසුවන්නේය. නවසීලන්තය සිව්වැනි ස්ථානයේ පසුවද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට ඉදිරියෙන් වන පස්වැනි ස්ථානයේ පසුවෙයි. එහෙත් ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාව සහ දකුනු අප්‍රිකානු කන්ඩායම් සමග ශ්‍රී ලංකාවේ තරග වැදි තුන්කොන් තරගාවලියේදී මෙම කණ්ඩායම් දෙකම පරාජයට පත් කිරීමට සමත්වීම කැපී පෙනුනි. එපමණක් නොව දකුනු අප්‍රිකානු පිල තෙවැනි තැනට ඇද දමමින් ඉන්දියාව සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කරමින් අනුශූරතාවයට පත්වීමත අමතක කළ නොහැක.
එයද මෙම තරගාලියට හොඳ ආත්ම විශ්වාසයක් එක් කරවන්නක් බව කොළඹදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායිකාව සඳහන් කර සිටියාය.





