පළමු තරගය පරාජයට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කූලිජ් හි සහභාගි වුණු දෙවැනි යොවුන් එක්දින තරගයේදී කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව තියුණු තරගාවසානයකින් පසු කඩුල්ලක ජයක් වාර්තා කිරීමට සමත්වූවේය. ඒ සමගම තරග 7 කින් සමන්විත දෙරට අතර යොවුන් එක්දින තරගාවලිය මේ වන විට දෙපිළම 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවේ.
පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම ලකුණු 201 කට සීමා කිරීමට යාපනය හාර්ට්ලි විදුහලෙන් පැමිණ සිටින පා දඟ පන්දු යවන විග්නේෂ්වරන් ආකාශ් ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ. යාපනයේ හාර්ට්ලි විදුහලින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරී පත්ව සිටින 17 හැවිරිදි වියේ පසුවන විග්නේෂ්වරන් යවන ලද පන්දුවාර 10 දී නිලකුණු පන්දු වාරයක් ද සහිතව ලකුනු 30 ක් ඇතුළත ප්‍රතිවාදී පිතිකරුවන් තිදෙනෙකු දවා ගන්නා අතර වාරයේදී විරාන් චමුදිත ලකුණු 21 කට කඩුලු 2 ක් ද සහ පළමු තරගයේදී ශතක ලාභී කවීජ ගමගේ ලකුණු 28 කට කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ නායක විමත් දින්සර වන අතර ඔහු පන්දු 61 කදී ලකුණු 45 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 7 ම ලකුණු 178 ක්ව තිබියදී අංක 9 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිනි සෙත්මික සෙනෙවිරත්න නොදැවී රැස් කරන ලද ලකුණු 20 නොවන්නට මෙම තරගයද ශ්‍රී ලංකාවට අවාසි දායක වන්නට තිබිණ. ජයග්‍රහණයට ලකුණු 24 ක් අවශ්‍ය තිබියදී පිටියට පිවිසෙන සෙත්මික පන්දු 32 කට මුහුණ දෙමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ආවේ අනෙක් අන්තයේ පිතිකරුවන්ද ආරක්ෂා කර ගනිමිනි.
කෙසේ වෙතත් ඉනිමේ 9 වැනි කඩුල්ලද ජයග්‍රහණයට ලකුණු 5 ක් තිබියදී දැවී යෑම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අවධානමට ලක් කරවන්නක් විය. එහෙත් තම වගකීම කරට ගත් සෙත්මික සෙනෙවිරත්න අවසන් පන්දුවාරයේදී හතරේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කළේය. ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වන විට තවත් පන්දුවාර 2 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.
පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කන්ඩායමේ ඉදිරිපෙළ කඩුලු 2 ම බිඳ වැටෙද්දී ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 06 ක් ලෙසිනි. එහෙත් අංක 4 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දුමී පැමිණි ජොෂුවා ඩ්‍රෝන් පන්දු 112 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 82 ක් රැස් කරමින් වැඩිම ලකුනු ලාභියා බවට පත්වූයේ. කෙසේ වෙතත් සත්කාරකයින්ගේ අවසන් කඩුලු 4 ම ලකුණු 21 ක් ඇතුළතදී බිඳ දැමීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත්වීම නිසා ඔවුන්ගේ ඉනිම පන්දුවාර 47.5 කදී ලකුණු 201 කට සීමාවිය.
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම පන්දුවාර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 201 යි – (ජොෂුවා ඩ්‍රෝන් 82, එරෂිනෝ ෆොන්ටේන් 18, බ්‍රෙන්ඩන් බූඩූ 28, මැතිව් මිලර් 12, ජොනතන් වැන් ලාන්ජ් 26, විග්නේෂ්වරන් ආකාෂ් 30/3, කවීජ ගමගේ 28/2, විරාන් චමුදිත 21/2 .සෙත්මික සෙනෙවිරත්න 27/1, රසිත් නිම්සර 43/1, චාමික හීනටිගල 31/1)
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 204 යි – (පුලීෂ තිලකරත්න 24, සෙනුජ වෙකුණගොඩ 24, කවීජ ගමගේ 11, විමත් දින්සර 45, චාමික හීනටිගල 30, රමිරු පෙරේරා 10, සෙත්මික සෙනෙවිරත්න 20, සැකර් කාටර් 42/3, බ්‍රෙන්ඩන් බූඩූ 27/2, විටෙල් ලුවිස් 31/1, ඒඩියන් රාෂා 27/1, මැතිව් මිලර් 26/1, ජකීම් පොලාර්ඩ් 42/1)





