කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය හෙට (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග දෙකකට සහභාගිවී මේ වන විට තරගයක් පරාජයවී තරගයක් විසඳුමකින් තොරව නිමාකොට ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ පසුවන අතර, එංගලන්ත කාන්තාවෝ සහභාගිවූ තරග දෙකම ජයගෙන ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙති. එබැවින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ තරගාවලිය තුල බලාපොරොත්තු සහිතව රැදී සිටින්නට ශ්‍රී ලංකා පිලට මෙම තරගය ඉතාම තීරණාත්මක එකකි.
ආර්. ප්‍රේමදාස පිටියේ තණතීරුව බොහෝවිට දඟ පන්දුවට වඩාත් හිතකර බැවින් ශ්‍රී ලංකාව එහි වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනු ඇතැයි පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා විශ්වාසය පළ කළේය.
අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයට පෙර මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා සඳහන් කළේ ඉන්දියාව සමඟ තරගයේදී සිදුවූ අත පසුවීම් පිළිබඳ හොද අවෝධයකින් යුතුව ඒ සම්බන්ධ අඩුපාඩු සකසා ගෙන හෙට තරගයට මුහුණ දෙන බවයි.
“ඉන්දියාව සමඟ පැවැති තරගයේ හොඳ හා නරක යන අංශ දෙකම අපේ කණ්ඩායමේ තිබුණා. ඒ නිසා මුලින්ම අපි අතපසුවීම් පිළිබද අවධානය යොමුකොට ඒවාට අවශ්‍ය විසඳුම් සාකච්ඡා කළා. කිසිම ක්‍රීඩකයෙකු හිතා මතා උඩ පන්දු අත් හරින්නේ නෑ. අවශ්‍ය වෙන්නේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යෑමයි. කණ්ඩායම ඒ සදහා හොඳ සූදානමක් තියෙනවා. අඩුපාඩු වටහාගෙන තියෙනවා“ ශ්‍රී ලංකා පුහුණුකරු පැවැසීය.
“ අපේ පහළින් එන අය. විශේෂයෙන්ම අංක 7න් පසු පිතිකාරිණියන් පවා ලකුණු ගත යුතුයි. අද වනවිට ක්‍රිකට් ක්‍රීඩාව හැකියාව අතින් ලෝකයේම ඉදිරියට ගිහින්. ඉන්දියාව සමඟ තරගයේදී අපේ මුල් හයම ලකුණු 50ක් ගත්තේ නෑ. අපට තියෙන්නේ කව්ද තරගයක් අවසන් කරන්නේ කියන එක හිතන්නයි. මුල් පිතිකාරිනියන් ලකුණු ගත්තේ නැත්නම් අවසන් පිතිකාරිණියන් ලකුණු අතරට පැමිණිය යුතුයි“
“අපි දකින දෙයක් තමයි දඟ පන්දුවට හොද තත්ත්වයක් මේ තරගාවලියේ නිර්මාණය වෙලා තියෙන බව. ඒ වගේම දඟ පන්දුව ඉදිරියේ අපි ඉගෙන ගන්න දෙයක් තමයි ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි වගේ කෙනෙක් ඇවිත් ක්‍රීඩා කළ ආකාරය. එයින් ක්‍රීඩිකාවන් ඉෙන ගත යුතු දෙයක් තියෙනවා. මේ තණතිලි ගොඩක් දඟ පන්දුවට උචිතයි. ඒ නිසා එයට ගැලපෙන පරිදි අපි වෙනස් විය යුතුයි කියා මා හිතනවා“ රුමේෂ් රත්නායක මහතාගේ අදහස විය.
එංගලන්ත පිලේ පිතිකාරිණියන් කිහිප දෙනකුම ශතකලාභින් බවත්, එය යම් දුරකට ශ්‍රී ලංකා පිලට අභියෝගයක් විය හැකිද යන්න මාධ්‍යෙව්දියෙකු විමසීමේදී ශ්‍රී ලංකා පුහුණුකරු පැවැසූවේ එංගලන්ත පිතිකාරිණියන් 9ක් පිළිබද නිසි අවබෝධයක් ලබාගෙන ඇති බවය.
“එංගලන්ත පිල දක්ෂ කණ්ඩායමක්. ඒ නිසා කණ්ඩායමේ පිතිකාරිනියන් 9ක් පිළිබඳ හොදින් නිරීක්ෂණය කළා. ඔවුන්ගේ දක්ෂතා වගේම ඔවුන්‍ගේ දුර්වලතා අපි කණ්ඩායමක් ලෙස නිරීක්ෂණය කළා. ඇත්තටම අපේ කණ්ඩායමට කරන්න තියෙන්නේ ක්‍රීඩාංගණයේදී ඒ ඉගෙන ගත් දේවල් ක්‍රියාත්මක කරන්නයි. මා හිතනවා අපේ ක්‍රීඩිකාවන් ඒ දේවල් හරියටම හෙට තරගයේදී කරයි කියලා. එහෙම නිවැරදි ක්‍රීඩාවක් දැක්වුවහොත් අපට තරගය ජය ගන්න අපහසු නෑ“ රුමේෂ් රත්නායක මහතා පැවැසීය.





