රැක ගත හැකි මට්ටමේ උඩ පන්දු හතරක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතින් ගිලිහෑ යෑම හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වුණු ශ්‍රී ලංකා සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59 ක ජයක් වාර්තා කළ ඉන්දීය කාන්තාවෝ මෙවර තරගාවලියේදී ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට අද (30 දා) රාත්‍රියේ සමත්වූහ.
ලකුණු 270 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.4 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 211 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ඉතා හොඳ ආරම්භයක් ලබා ගනිමින් පන්දුවට පහර දුන්නද, පිත්තෙන් දස්කම් දැක්වූ දීප්ති ෂර්මා පන්දුවෙන් ද දස්කම් අතරට පිවිසෙමින් ශ්‍රී ලංකා නායිකාව දවා ගැනීමට සමත්වීම නිසා තරගයේ සමස්ථ වාසියම ඉන්දුයානුවන් කැටි කර ගත්හ.
අද දිනයේ ලද පරාජය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායිකාව සඳහන් කර සිටියේ රැක ගත හැකි මට්ටමේ උඩපන්දු කීපයක් ගිලිහී යෑමත් මැද පෙළ කඩුලු කීපයක්ම ඉක්මනින් දැවී යෑමත් මෙම තරගයේ පරාජයට හේතු වූ බවයි.
චමරිගේ දැවී යෑමෙන් පසුව වුවද වගකීමක් ගෙන පන්දුවට පහර දිය හැකි පිතිකාරිණීයන් කීප පළක්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතු වුවත්, ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් මට්ටමක ඔවුන්ගේ පිතිහරඹය නොපැවතීම මෙම පරාජය ශ්‍රී ලංකාටව අත්විඳීමට සිදුවිය. පන්දු යැවීමේදී කඩුු 3 ක් දවා ගත් දීප්ති ෂර්මා අවිවාදයකින් තොවම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් පිදුම් ලැබුවාය.
උඩ පන්දු 4 ක් ගිලිහී යෑමේ වාසිය අත මිට මොලවා ගත් අමන්ජෝති කෞර් පන්දු 56 කින් ලබාගත් ලකුණු 57 ක හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තිබූ පහසුම අවස්ථාව අද දිනයේදී මඟ හැරී ගියේය. ජයග්‍රහණයේ නියමුවරිය බවට පත්වූ දීප්ති ෂර්මා පන්දු 53 කදී ලකුණු 53 ක් ලබා ඉන්දීය ඉනිම වෙනුවෙන් පවුරක් සේ නැගී සිටියාය.
දීප්ති සහ අමන්ජෝතිගේ ඉනිම් ප්‍රධාන කොට පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 47 ක් අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 269 ක් රැස් කිරීමට සමත්විය. දෙවතාවක්ම වර්ෂාවෙන් බාධා ඇතිවූ මෙම තරගයට පැය දෙකක ආසන්න කාලයක් අපතේ ගිය බැවින් එක් කණ්ඩායමකට පන්දුවාර 47 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත විය.
ඉනෝකා රණවීරගේ දක්ෂ පන්දු යැවීම හෙවත් එකම පන්දුවාරයකදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වීම හේතුවෙන් ලකුණු 120 කට කඩුලු 2 ක් වශයෙන් සටහන් වුණු ඉන්දීය ඉනිම ලකුණු 121 කට කඩුලු 5 ක් වශයෙන් සනිටුහන් විය. අනතුරුව උදේශිකා ප්‍රබෝධනී විසින් චමරි අතපත්තුගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් රැක ගැනීම නිසා ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 124 ක් ලෙසින් සනිටුහන් වූයේ තරගයේ සමස්ථ වාසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හිමි වෙමිනි.
එහෙත් 7 වැනි කඩුල්ලට එකතු වූ අමන්ජෝති සහ දීප්ති ෂර්මා එකතුව පන්දු 99 කදී ලකුණු 103 ක සම්බන්ධතාවත් පැවැත්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට හිස එසවීමට හැකියාව ලැබිණ. ලකුණු 17, 37, 50 සහ 53 ක් ලබා සිටියදී අමන්ජෝති ලබා දුන් උඩ පන්දු සියල්ලම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතින් ගිලිහී ගියේය. ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් පන්දුව තෙත බරිත භාවයට පත්වීම එම උඩ පන්දු ගිලිහී යෑමට හේතුවන්නට ඇතත් එය වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට කිසි විටෙකින්වත් බලාපොරොත්තු විය නොහැක්කකි.
දෙවැනි වරට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් අනතුරුව අමන්ජෝති පෙරළා දුන් උඩ පන්දුව ඉනෝකා රණවීර අතින් ගිලිහී නොයන්නට කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නියගේ වාර්තාව තම නම ඉදිරියෙන් ලියා ගන්නට ඉනෝකාට හොඳින්ම අවකාශ තිබිණ. කෙසේ වෙතත් ඉන්දීය ඉනිම අවසන් වන විට ඉනෝකරාගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 9 කදී ලකුණු 46 කට කඩුලු 4 ක් වශයෙනි. කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී කඩුලු 4 ක් දවා ගත් වයස්ගතම පන්දු යවන්නිය වීමේ වාර්තාව නම් ඉනෝකා සතු කර ගැනීමට අද තරගයේදී සමත්විය. මෙම තරගයට ඇය ක්‍රීඩා කරන විට ඉනෝකා 39 වැනි වියේ පසුවන්නීය.
තමන්ට හිමි බෝනස් වාසනාවෙන් අනගි ප්‍රෙයා්ජන ලබාගත් අමන්ජෝති වේගවත් පිතිහරඹයක නියැළෙමින් ස්නේ රානා සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 42 ක් එක් කරමින් ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 260 න් ඔබ්බට රැගෙන ගියහ. මෙහිදී ස්නේ රාණා හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 15 කදී නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තාය.
මෙම තරගය නැරඹීම සඳහා ගුවාති ක්‍රීඩාංගණයට විසි දෙදෙහස් අටසිය හතළින් තුනක (22,843) වාර්තා ගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණීම කැපී පෙනිණ. මෙය කුමන හෝ මට්ටමේ කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාංගණයකට රැස්වුණු වැඩිම ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. මීට පෙර ඉන්දියාවේ පැවැති තරගයක් නැරඹීම සඳහා පැමිණ සිටි වැඩිම ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාව වූයේ 2024 වසරේදී ඩුබායි පැවැති ඉන්දු – පාකිස්තාන් කාන්තා විස්සයි-20 තරගය වන අතර එය නැරඹීම සදහා 15,395 ක් පැමිණ සිටියහ.
ඉන්දියාව පන්දුවාර 47 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 269 යි – (ප්‍රාතිකා රාවල් 37, ස්මිත්‍රී මන්දනා 08, හර්ලීන් ඩියෝල් 48, හර්මන්ප්‍රීට් කෞර් 21, ජෙමීමා රොඩ්රිගස් 00, දීප්ති ෂර්මා 53, රීසා ඝෝස් 02, අමන්ජෝත් කෞර් 57, ස්නේ රානා 28*, ඉනෝකා රණවීර 46/4, උදේශිකා ප්‍ර බෝධනී 55/2, අචිනි කුලසූරිය 42/1, චමරි අතපත්තු 24/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 45.4 කදී සියලු දෙනා දැවී ලකුණු 211 යි – (හසිනි පෙරේරා 14, චමරි අතපත්තු 43, හර්ෂිතා සමරවික්‍රම 29, විශ්මි ගුණරත්න 11, කවීෂා දිල්හාරි 15, නිලක්ෂි ද සිල්වා 35, අනුෂ්කා සංජීවනී 06, සුගන්ධිකා කුමාරි 10, අචිනි කුලසූරිය 17, උදේශිකා ප්‍ර බෝධනී 14*, ඉනෝකා රණවීර 03, දීප්ති ෂර්මා 54/3, ශ්‍රී චරණි 37/2, ප්‍රාතිකා රාවල් 06/1, ක්‍රාන්ති ගෞඩ් 41/1, අමන්ජෝත් කෞර් 37/1, ස්නේ රානා 32/2)





