slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2025
ක්‍රීඩාවේදී ශාරීරීක යෝග්‍යතාව ඉතා වැදගත් – නිලක්ෂිකා ද සිල්වා

sinhala editor

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දී ක්‍රීඩිකාවකට ශාරීරීක යෝග්‍යතාව ඉතා වැදගත් බවත්, තමන් ශාරීරික යෝග්‍යතා අභ්‍යාස කිරීමේදී ඉතා කැමැත්තෙන් හොඳින් වෙහෙසවී එම කාර්ය ඉටුකරන බවත් ප්‍රහාරාත්මක පිතිකාරිණි නිලක්ෂිකා ද සිල්වා පැවැසූවාය. එලෙස ශාරීරීක යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගන්නා ක්‍රීඩිකාවකට තණතිල්ල මැදදී දක්ෂතා අතරට පැමිණීම පහසු වනු ඇතැයි ඇය විහ්වාසය පළ කළාය.

ඇය ‍මේ බව පැවැසූ‍වේ හෙට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයට පෙර ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

“පහුගිය වසර දෙක තුනේ අපේ කාන්තා ක්‍රිකට් පිල වේගයෙන් ඉදිරියට පැමිණියා. ඒකට හේතුව අපට හොද නිදහසකින් ක්‍රීඩා කරන්න ලැබීමයි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුනු කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ සහයෝගයක් දුන්නා. ඒ වගේම රුමේෂ් රත්නායක ප්‍රධාන පුහුණුකරු හා කාර්ය මණ්ඩල‍යේ සහයෝගය ඉතාම හොදින් ලැබුණා. ක්‍රිකට් ක්‍රීඩාවට ශාරීරීක යෝග්‍යතාව වැදගත්. මම ඒ සම්බන්ධව ඉතා ආසාවෙන් හොඳින් වෙහෙසෙවී පුහුණුවීම් කරනවා. ඒක තණතිල්ල මැදදී දක්ෂතා අතරට එන්න පහසුවක්“ නිලක්ෂිකා සඳහන් කළාය.

“නවසීලන්තයට එරෙහි තරගයේදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරී‍මේදී මට හැම දෙනාගේම සහයෝගය ලැබුණා. අංක 6 ස්ථානයේ ක්‍රීඩා කිරීම ලෙහෙසි නෑ. මා මානසිකව හා ශාරීරිකව ‍හොඳ සූදානමකින් ඉන්නවා. අපේ ඉදිරි පෙළ හා මැද පෙළ පිතිකාරිනියන් හොදින් ක්‍රියාත්මක ‍වෙනවා. අපේ ‘ස්ට්‍රෙන්ත්‘ එක තියාගෙන ක්‍රීඩා කළොත් දකුණු අප්‍රිකාව පරාජය කළ හැකියි“ නිලක්ෂිකා ද සිල්වා පැවැසූවාය.

ප්‍රහාරාත්මක පිතිකාරිණි නිලක්ෂිකා ද සිල්වා අංක 6 ස්ථානයේ පන්දුවට පහරදීම තුලින් ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත්වී තිබේ. ඇය නවසීලන්තයට එරෙහි තරගයේදී පන්දු 26කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කොට ශ්‍රී ලංකා පිතිකාරිණියක් සතු වේගවත්ම එක්දින අර්ධ ශතක වාර්තාව අලුත් කළාය.

36 හැවිරිදි වියෙහි පසුවන නිලක්ෂි මේ දක්වා තරග 51කට සහභාගිවී එක්දින අර්ධ ශතකය 4ක් වාර්තාකොට ඇති අතර, මෙයට පෙර පන්දු 28කදී ඉන්දියාවට එරෙහිව වේගවත් අර්ධ ශතක වාර්තාව ප්‍රේමදාස පිටියේදී පිහිටුවා තිබිණි. ඇය දැනට එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු දහස සම්පූර්ණ කිරීමට ද සමත් වූවාය.

“දකුණු අප්‍රිකා කණ්ඩායම ‍මෙයට කලින් අපි පරාජය කොට තිබෙනවා. ඒ වගේම  ප්‍රතිවාදී කණ්ඩායමේ දුර්වලතා හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අපි සැලසුම් සකස් කොට ති‍‍බෙනවා. මේ තරගයේදී අපි නවසීලන්තයට එරෙහි තරගයේදී මෙන් ක්‍රීඩා කළොත් ජයග්‍රහණය අපහසු නෑ“ නිලක්ෂිකා ද සිල්වා පැවැසූවාය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee