slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2025
ජය අපේක්ෂාවෙන් හෙට තරග බිමට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය හෙවත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවනු ලබන තෙවැනි තරගය හෙට (11 වැනිදා) එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා එක්දින ඉතිහාසයේ 200 වැනි තරගය ලෙසින් මෙම තරගය ප.ව. 3.00 ට ආරම්භ වනු ඇත.

මෙතෙක් පැවැති තරග දෙකම අඛණ්ඩ ජයග්‍රහණ වාර්තා කරගෙන සිටින එංගලන්ත කණ්ඩායම කිසිදු අපහසුවකින් තොරව තරගාවලියේ ඉදිරියට ඇදෙද්දී ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ මංගල ජය අපේක්ෂාවෙන් හෙට තරගයට සේන්දු වනු ඇත. ශ්‍රී ලංකාව මීට පෙර තරග 2 කට ක්‍රීඩා කළ අතර එහිදී ඉන්දියාව හමුවේ පරාජයට පත් වූ නමුත් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අනෙක් තරගය වර්ෂාව නිසා ප්‍රතිඵල රහිත විය.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට අවතීර්ණ වනු ලබන්නේ දින 11 ක කාලයකිනි. ඔවුන් අවසන් වතාවට තරගයකට ක්‍රීඩා කරන ලද්දේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සැප්තැම්බර් මස 30 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී වේ. එම තරගයෙන් පසුව ශ්‍රී ලංකාව ඉකුත් ඔක්තෝම්බර් 04 වැනිදා ඔස්ට්‍රේලියානු පිලට එරෙහි තරග වැදීමට නියමිත වුවද වර්ෂාව හේතුවෙන් එම තරගයේදී එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.

අතහැර දැමුණු තරගයේදී දෙපිළටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටින්නේ හය වැනි ස්ථානයේය. තරගාවලිය ආරම්භයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සඳහන් කර සිටියේ තම කණ්ඩායමේ මූලික අරමුණ වී ඇත්තේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට ඇතුළුවීම බවයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයද ඇතුළුව ක්‍රීඩා කිරීමට  5 කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත් ඒ සෑම තරගයක්ම ජය ගැනීම අවසන් පූර්ව කණ්ඩායම් 4 අතර තරග වටයට ඇතුළුවීමට තීරණාත්මකය.

මන්ද යත් බංග්ලාදේශ කණ්ඩායම අනපේක්ෂිත ලෙසින් පාකිස්තානු කණ්ඩායම පරාජයට කිරීමට සමත්ව ඇති බැවින් ඔහුන් මේ වන විටත් ප්‍රසාද ලකුණු පුවරුවේ 05 වැනි ස්ථානයට පත්ව සිටීම මෙම තීරණාත්මක තත්ත්වයට හේතු වී තිබේ.

කෙසේ වෙතත් දෙරට අතර එක්දින තරග ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි වාසිදායක කිසිවක් ගත නොහැක. දෙරට අතර මෙතෙක් එක්දින තරග 20 ක් පවත්වා ඇති නමුත් ශ්‍රී ලංකාව ඉන් ජය ගෙන ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. ඒ 2013 වසරේ පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරාවලිය යටතේ දෙපිළ මුණ ගැසුණු අවස්ථාවේදීය. අනෙක් අවස්ථාවන් 19 න් අතරින් එංගලන්තය අවස්ථා 17 ක ජය වාර්තා කර ගනිද්දී තරග 2 ක් විසඳුමකින් තොරව අවසන් ව තිබේ.

එමෙන්ම 2025 ආරම්යේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරග 9 කට ක්‍රීඩා කර ඇතත් ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 2 ක් පමණි. එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2017 වසරේදී වන අතර එතැන් පටන් මේ දක්වා සහභාගි වුණු එක්දින තරග 7 ම පරාජයට පත්ව තිබේ. මේ සියල්ල ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයේ ජය වාර්තා කිරීම එම පරාජිත රැල්ලට තිත තැබීමට හොඳම අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

දෙපිළේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අතර සංසන්දනය කර බැලීමේදී එංගලන්ත කණ්ඩායම පැහැදිළිවම ඉදිරියෙන් සිටින නමුත්, ශ්‍රී ලංකාව සතුවද ඕනෑම අවස්ථාවක දක්ෂතා අතරට පැමිණෙමින් පෙරැළියක් කිරීමට හැකියාවෙන් යුත් ක්‍රීඩිකාවෝ වෙති. මෙහිදී ශ්‍රී ලංකාවට සතු වන සුවිශේෂී වාසිය වන්නේ තම දේශීය තත්ත්වයන් යටතේ තරග වැදීමට අවස්ථාව හිමිව තිබීමයි. එමෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමේ සියලුම පිතිකාරිණියන් දකුණත් පිතිකාරිණියන් වීමද ශ්‍රී ලංකාවට වඩාත් පහසු සැලසුමක් සකසා ගැනීමට අවස්ථාව උදාවීමකි.

එය දෙආකාරයකින් ශ්‍රී ලංකාවට වාසි ගෙන එන්නකි. පන්දු යැවීමේදී ඉහත කී වාසියට අමතරව පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකාරිණියන් පස් දෙනාගෙන් තිදෙනෙකුම වමත්  පිතිකාරිණියන් වීම ඔවුන්ගේ පන්දු යැවීමට නුහුරු බවක් ගෙන දෙන්නකි. ඒ මන්ද යත් ඔවුන්ගේ සුපුරුදු පුහුණුවීම් වලදී වමත් පිතිකාරිණියන්ට පන්දු යැවීමේ අවස්ථාවන් එම  පන්දු යවන්නනියන්ට ලැබෙන්නේ ඉතාම විරළ ආකාරයෙන් වීමයි.

මේ සියලු කාරණා එසේ පවසද්දී වැදගත්ම කරුණ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිණියන් සියල්ල ලකුණු අතරට පිවිසිය යුතු වීමයි. එංගලන්ත කණ්ඩායමේ ප්‍රධානම අරමුණ බවට පත්ව තිබෙන්නේද ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුව ඉක්මනින් දවා ගනිමින් වාසිය තමන් වෙත හරවා ගැනීමයි. මේ බව අද (10 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ටැමී බියුමොන්ට් සදහන් කර සිටියාය.

“චමරිව ඉක්මනින් දවා ගැනීම අපේ කණ්ඩායමට ලොකු ආශාවක් ඇති කරවන්නක් වනවා. අපි ඒ සදහා හොඳ සැලසුමක් සකස් කර තිබෙනවා“ යැයි ඇය සදහන් කර සිටියාය. මේ බව චමරි පමණක් නොව කණ්ඩායමේ සියලුම පිතිකාරිනියන් සිහි තබා ගත යුතු වේ. තරගාවලියේ දෙවැනි වටයට යනවාද නැතහොත් පළමු වටයෙන්ම නවතිනවාද යන්න තීරණය වනුයේ පිතිකාරිනියන්ගේ දක්ෂතා මත බව අමුතුවෙන් මතක් කළ දිය යුතු නැත. එවන් තත්ත්වයක් මත ප්‍රතිවාදී පිලේ ප්‍රධානම දැල චමරි වෙත එළද්දී සෙසු පිතිකාරිනියන් තමන්ගේ වගකීම අකුරටම ඉටු කිරීම, තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙත නතු කර ගැනීමට ඇති හොඳම අවස්ථාව වනු ඇත.

එංගලන්ත පන්දු යැවීමද සුළුවෙන් තැකිය නොහැක. ඔවුන් මෙම තරගාවලිය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 69 ක් ඇතුළත දවා ගැනීමට සමත්වූ කණ්ඩායම බව අප අමතක නොකළ යුතුය. එපමණක් නොව ඔවුන් ඊළඟ තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 178 කට සීමා කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යැවීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉන්දියාවට එරෙහිව පැවැති පළමු තරගයේදී වේග පන්දු යවන්නියන් දෙදෙනකු ක්‍රීඩා කෙරවූ නමුත් හෙට බොහෝ විට එය එක් වේග පන්දු යවන්නියකට සීමා වීමට වැඩි ඉඩ කඩක් තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුව දඟ පන්දු යවන්නියන්ට ලබා දෙන වාසිය අරමුණු කොට ගෙන හෙට බොහෝ විට තවත් දඟ පන්දු යවන්නියක් කණ්ඩායමට එකතු කිරීමේ අවස්ථාව පවතිනු ඇත. එසේ වුවහොත් එම ස්ථානය සඳහා කණ්ඩායමේ සිටින ළාබාලම ක්‍රීඩිකාව වන දෙව්මි විහංගාට හිමිවීමේ අවස්ථාවක් පවතියි. එසේ වුවහොත් බොහෝ විට වේග පන්දු යවන අචිනි කුලසූරියට තම ස්ථානය අහිමිවනු ඇත.

ක්‍රීඩා කිරීමට අපේක්ෂිත කණ්ඩායම් මෙසේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. හසිනි පෙරේරා, 2. චමරි අතපත්තු (නායිකා), 3. හර්ෂිතා සමරවික්‍රම, 4. විශ්මි ගුණරත්න, 5. කවීෂා දිල්හාරි, 6. නිලක්ෂි ද සිල්වා, 7. අනුෂ්කා සංජීවනී, 8. දෙව්මි විහංගා, 9. සුගන්ධිකා කුමාරි, 10. උදේශිකා ප්‍ර බෝධනී, 11. ඉනෝකා රණවීර.

එංගලන්ත කණ්ඩායම – 1. ටැමි බියුමොන්ට්, 2. ඒමි ජෝන්ස්, 3. හෙදර් නයිට්, 4. නැට් ස්කිවර්-බ්‍රන්ට් (නායිකා), 5. සොෆියා ඩන්ක්ලි, 6. එමා ලැම්බ්, 7. ඇලිස් කැප්සි, 8. චාලි ඩීන්, 9. සොෆී එක්ලෙස්ටෝන්, 10. ලින්සි ස්මිත්, 11. ලෝරන් බෙල්

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee