slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2025
ශ්‍රී ලංකාව පරදවා දකුණු අප්‍රිකානුවෝ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පැමිණෙති

sinhala editor

වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් පන්දුවාර 20 ට සීමා වෙමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ වඩාත් ආසන්නයට පැමිණීමට අද (17 දා) රාත්‍රියේදී සමත්වූහ.

මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු 5 වැනි තරගය බවට පත් වූ මෙම තරගයේ ලද ජයත් සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08 දක්වා ඉහළ දමා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දක්වා ඉහළ නගිද්දී විසඳුමකින් තොරව අවසන් වුණු තරග දෙකේ ලද ප්‍රසාද ලකුණු 02සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේම රැඳී සිටිති.

ඒ අනුව අද තරගයේ ලැබූ පරාජය හේතුවෙන් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තුද බිඳ වැටිණ. මූළික තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් තරග 2 කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත් එම තරග 2 ම ජය ගත්තද ඔවුන්ට උපරිමය ලබා ගත හැක්කේ ලකුනු 06 ක් පමනි.

කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකියාව ලැබුණද ප.ව. 3.50 ට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා යළිත් තරගය ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ රාත්‍රී 9.10 ටය. ඒ අනුව එම තරගය  පන්දුවාර 20 ක් බැගින් එක ඉනිමකට ක්‍රීඩා කිරීමට නියමිත විය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් නතර කර දමද්දී පන්දුවාර 12 කට ක්‍රීඩා කොට කඩුලු 2 කට ලකුණු 46 ක් ලබා සිටියේය. ඒ අනුව ඉතිරි පන්දුවාර 8 දී ලකුණු 59 ත් ලබා ගැනීමට සමත්වී නිසා නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 105 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ,

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉලක්කය වූයේ පන්දුවාර 20 කදී ලකුණු 121 කි. ඒ අනුව ලකනු හඹා යෑම සඳහා පිටියට පිවිසි එම ආරම්භක පිතිකාරිණියෝ පන්දුවාර 14.5 කදී කිසිවකු නොදැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී නායිකා ලෝරා වූල්වාර්ත් ලකුනු 60 ක් සහ ටැස්මින් බ්‍රිට්ස් ලකුණු 55 ක් වශයෙන් ලකුණු රැස් කරගෙන සිටියහ.

ලකුණක් කරා පැති හුවමාරු කර ගැනීමට යෑමේදී විශ්මි ගුණරත්නගේ පාදයේ පන්දුව වැදීම නිසා ඇයට පිටියේ ඉවතට යෑමට සිදුවිය. ගිලන් මැස්සක ආධාරයෙන් විශ්මි ක්‍රීඩාංගණයෙන් එළියට යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 21 ක් ලෙසිනි.

10 වැනි පන්දුවාරය තෙක් නායිකා චමරි අතපත්තු පිටියේ රැදී සිටියද ඇයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි. ඒ වන විටත් ඇය පන්දු 25 කට මුහුණ දී තිබුණේ සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණ ශෛලියෙන් ඔබ්බට යමිනි. අනතුරුව හර්ෂිතාට එක්වූ කවීෂා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඇදගෙන යෑමට උත්සාහ දරද්දී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණින.

කණහිසේ පන්දුව වැදීමෙන් පිටියෙන් ඉවතට ගිය විශ්මි ගුණරත්න නැවතත් පැමිණෙමින් පන්දු 33 කදීි තම ලකුණු සංඛ්‍යාව 34 දක්වා ඉහළ දමා ගත්තාය. ඒ හතරේ පහර 6 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව විශ්මිගේ නම ඉදිරියෙන් වාර්තා වද්දී චමරි අතපත්තු (11), හර්ෂිතා සමරවික්‍රම (13), කවීෂා දිල්හාරි (14) සහ නිලක්ෂිකා ද සිල්වා (18) ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කළ පිතිකාරිණියන් බවට පත්වූහ.

තෙත බරිත වූ පන්දුවෙන් අගනා පන්දු යැවීමක නිරත වුණු නන්කුලෙලෙකෝ මලාබා පන්දුවාර 4 කදී ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත්තාය. ඇයට අමතරව මසාබටා ක්ලාස් ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.

ලකුණු හඹා යෑමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් වොල්වාර්ඩ් සහ බ්‍රිට්ස් තම ඉනිම සඳහා පිළිවෙළින් පන්දු 47 ක් සහ පන්දු 42 කට මුහුණ දුන්හ. ඒ අතරින් වොල්වාර්ඩ් හතරේ පහර 8 කින් ඉනිම සරසා ගනිද්දී බ්‍රිට්ස් හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 කින් ඉනිම සරසා ගත්තාය. බ්‍රිට්ස් තරගය අවසන් කරන ලද්දේ තරගයේ ජයග්‍රහණය මෙන්ම තමන්ගේ අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීම සඳහා එල්ල කරන ලද හයේ පහරත් සමඟිනි.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 7 කට ලකුණු 105 යි – (විශ්මි ගුණරත්න 34, චමරි අතපත්තු 11, හසිනි පෙරේරා 04, හර්ෂිතා සමරවික්‍රම 13, කවීෂා දිල්හාරි 14, නිලක්ෂීකා ද සිල්වා 18, අනුෂ්කා සංජීවනී 01, පියුමි වත්සලා 00*, නොන්කුලුලෙකෝ මලාබා 30/3, මසබාටා ක්ලාස් 18/2, නඩිනි ක්ලාර්ක් 23/1)

දකුණු අප්‍රිකාව පන්දුවාර 14.5 කදී කිසිවකු නොදැවී ලකුණු 125 යි – (ලෝරා වොල්වාර්ඩ් 60*, ටස්මින් බ්‍රිට්ස් 55*)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee