ශ්‍රී ලංකා පිල පාකිස්තානයේ සිඳුකරමින් පවතින ක්‍රිකට් සංචාරයේදී ආරක්ෂක විධිවිධාන ඉතා යහපත් බවත්, ක්‍රීඩාවට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත් ශ්‍රී ලංකා පිතිකරු සදීර සමරවික්‍රම පැවැසීය. එමෙන්ම පාකිස්තාන ජනතාව කවදත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දක්වන ලද සහයෝගයට ස්තූතිවන්ත වන බවත් සමරවික්‍රම සඳහන් කළේය.
ඔහු එලෙස පැවැසූවේ සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තාන පිල අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය. මෙම තරගයෙන් පාකිස්තානය කඩුලු 8ක ජයක් ලබා ගැනීමත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානය 2-0කින් සතුකර ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි සදීර සමරවික්‍රම පන්දු 52කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 42ක් ලබා ගැනීමට සමත් විය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලබාදී ඇති ආරක්ෂාව හා ඒ වෙනුවෙන් ඇති ආරක්ෂක විධිවිධාන ඇත්තටම හොඳයි කියලා අපි හිතනවා. හැමෝම ආරක්ෂිතව ක්‍රීඩා කරන්න කැමතියි. ඒ සදහා සුදුසු මානසිකත්වයක් ගොඩනැඟිය යුතුයි. ඒ ආරක්ෂිත පරිසරයත් එක්ක ක්‍රීඩා කිරීම පහසුයි. ඇත්තටම හොඳ තත්ත්වයක් තියෙන එක ගැන සතුටුයි“ සදීර සමරවික්‍රම පැවැසීය.
“අතීතයේදී මම මෙහි ක්‍රීඩා කළා. ඒ 2019 වසේදී පැවැති තරගාවලියේදී. කණ්ඩායම් දෙකටම හොඳ සහයෝගයක් තිබුණා. හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදීත් කණ්ඩායමට ඒ සහයෝගය ලැබෙනවා. ඇත්තටම මෙහි ක්‍රීඩා කිරීම පිළිබඳ සතුටුයි“
“පසුගිය කාලේ බාබර් අසාම්ගේ ලොකු රසිකයෙක් මම. ඔහු ක්‍රීඩා කරනවා බලා ඉන්න ආසයි. ඔහු ලෝක මට්ටමේ හොඳම ක්‍රීඩකයෙක් බව පිළිගත යුතුයි. ඇත්තටම ඔහු කලින් පිටියෙන් ඉවත් කිරීමට අපට ඕන වුණා. ඒකට අවස්ථා කිහිපයක්ම උදා වුණත් ඒක සිඳු වුණේ නෑ. අවසානයේ ඔහු හොඳ ශතකයක් සම්පූර්ණ කළා. කණ්ඩායම ජයග්‍රහණය කරා ඔහු රැගෙන ගියා. තරගය පුරා හොඳින් ක්‍රීඩා කළා“ සමරවික්‍රම පැවැසීය.
“ මුලින් අපි බැට් කරනකොට කඩුල්ල දඟ පන්දු යවන්නන්ට තදින්ම සහයෝගයක් දුන්නා. ඒ නිසයි ඔවුන් අබ්‍රාර් සහ නවාස් කැදෙව්වේ. පාකිස්තානය පහර දෙද්දී තිබුණු පින්න ගතියත් සමඟ අසලංක පන්දු යැවීමට ආරම්භ කළා. අවසනාවන්ත ලෙස දවා ගැනීමේ අවස්ථා කිහිපයක් උදා වුණත් ඒවා මඟ හැරැණා. මේ තණතිල්ල ටිකක් මන්දගාමී එකක්. ඒ නිසා මම හිතන්නේ තරගයේ පළමු කොටසේදී දඟ පන්දු යවන්නන්ට හොඳයි“ සමරවික්‍රමගේ අදහස විය.
දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු යැවීම තෝරාගෙන ශ්‍රී ලංකාවට ආරාධනා කළ හෙයින් ශ්‍රී ලංකා පිල කඩුලු 8කට ලකුණු 288ක් ලබා ගත්තේය. අනතුරුව ජයග්‍රහණය හඹාගිය පාකිස්තාන පිල පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 2කට ලකුණු 289ක් ලබා ගැනීමට සමත් විය.
දෙරට අතර තෙවැනි හා අවසන් එක්දින තරගය මේ 16 වැනි ඉරිදා රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වීමට කටයුතු යොදා ඇත.






