slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2025
තුන්කොන් කිරුළේ අයිතිය කාටද..?

sinhala editor

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (29) පස්වරු 6.30ට ආරම්භ වේ.

තරගාවලියේ ආරම්භයේ දී පිතිකරණයෙන් යම් දුර්වල තරග දෙකකට පසුව, සිම්බාබ්වේට එරෙහිව ජයග්‍රහණය කරමින් සහ පාකිස්තානයට එරෙහිව තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා පිලේ විශ්වාසය තීව්‍රවී තිබේ. මෙම ජයග්‍රාහී මානසිකත්වය අවසන් මහ තරගයේදී ද රඳවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් තරගාවලියේ පිට පිටම වාර්තා කරන තෙවැනි ජයග්‍රහණය ද සමග කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවස්ථාව උදාවනු ඇත

පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු ලබා ගැනීමේ වැඩි කාර්ය භාරයක් ඉටුකළ අතර, කමීල් මිෂාර පාකිස්තානයට එ‍රෙහි තරගයේ දැක්වූ දක්ෂතාව බොහෝ දෙනකුගේ අවදානය දිනා ගත්හ‍. පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර දත්ෂතා අතර සිටින හෙයින් පාකිස්තානයට ප්‍රබල තර්ජනයක් ගෙන එනු ඇත.

මෙම තුන්කොන් තරඟාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වන්නේ පැතුම් නිශ්ශංක වන අතර ඔහු ලකුණු 123 ක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා වන්නේ දුෂ්මන්ත චමීර වන අතර ඔහු කඩුලු 7ක් දවාගෙන තිබේ.

පාකිස්තානය වෙනුවෙන් විස්සයි20 තුන්කොන් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන්නේ සහිබ්සාඩා ෆර්හාන් වන අතර ඔහු ලකුණු 168ක් ලබාගෙන තිබේ. පාකිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වන්නේ මොහොමඩ් නවාස් වන අතර ඔහු කඩුලු 7ක් දවාගෙන ඇත.

සහිබ්සාඩා ෆර්හාන් ඔවුන්ගේ වඩාත්ම ආකර්ෂණීය පිතිකරුවා වී සිටින අතර පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බලාපොරොත්තුවකි. පාකිස්තානයේ අබ්රාර් අහමඩ්, සල්මන් මිර්සා සහ මොහොමඩ් නවාස් පන්දුවෙන් වඩාත් ආකර්ෂණීය වේ.

පාකිස්තානය සමඟ අවසන් මහා තරගයට ‍පෙර කමීල් මිෂාර පැවැසූවේ පාකිස්තානයට එරෙහි නිමාවූ තරගයේදී සැලැස්ම වූයේ අවසන් පිතිකරුවන්ට යෝකර් යවමින් උපරිම පීඩනයක් ලබාදීමට බවය.

“ඇත්තටම රාවල්පින්ඩි තණතිල්ලේ ආරම්භ‍යේදී පන්දුවේ දොලනයක් තිබුණා. තරගය මැදදී එය යම් දුරකට දඟ කැවීමක් බවට පත් වුණා. යම් විදිහකට එය අසීරු තණතිල්ලක්. ඒත් අපි කළමනාකරණය කර ගත්තා“ මිෂාර පැවැසීය.

පාකිස්තාන රසිකයින් එක්දින තරගාවලියේදී මෙන්ම තුන්කොන් තරගාවලියේදී විශාල සහයෝගයක් ලබාදුන් බව කමීල් මිෂාර පැවැසීය. “ අපි ‍ගොඩක් කැමැතියි පාකිස්තාන ප්‍රේක්ෂකයින් ඉදිරියේ ක්‍රීඩා කරන්න. අපි බලාගෙන හිටියේ ජයග්‍රහණයේ අවස්ථා. ඉතින් අපි එය ලබා ගත්තා. අපි දිනෙන් දින ඉහළට යනවා. අපේ බලාපොරොත්තුව සැම විටම ජයග්‍රහණයයි“ කමීල් මිෂාර පැවැසීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar