slc
logo
Home   |    News
නොවැම්බර් 7, 2025
ශ්‍රී ලංකාවේ ආරම්භය අසාර්ථක වෙයි

sinhala editor

හොංකොංහි පැවැත්වෙන හොංකොං සික්සස් සය සාමාජික  ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සික්සස් කණ්ඩායම ප්‍රථම දිනයේ දී (07) සහභාගි වු තරග දෙකම පරාජයට පත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවූයේ වර්තමාන හොංකොං සය සාමාජික ශූරයින් වුවත් මෙවර තරගාවලියේදී ලද මෙම පරාජයන් දෙකත් සමග පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

අද (07) උදෑසන පැවැති තරගයේදී හොංකොං පිල විසින් කඩුලු 4 කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කළ අතර පස්වරුවේ පැවැති තරගයේදී බංග්ලාදේශ ලකුණු 14 ක ජයක් ලබමින් ශ්‍රී ලංකා පිල තරගාවලියෙන් ඉවතට ඇද දැමුවේය.   

දිනයේ පළමු තරගය ලෙසින් පැවැති හොංකොං පිලට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවාර හයක් අවසානයේ ලකුණු 79ක් රැස් කළ අතර පිළිතුරු ලෙස සත්කාරක පිල පන්දුවාර 3.4ක දී කඩුලු 2කට ලකුණු 80ක් ලබා ජය ලැබීය.

ශ්‍රී ලංකාව – පන්දුවට පහරදෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා තානුක දාබරේ පන්දු දහයක දී හයේ පහර හතරක් සමග ලකුණු 26ක් ද ධනංජය ලක්ෂාන් පන්දු දහයක දී හතරේ දෙකක් හයේ පහරක් සමග ලකුණු 16ක් ද ලබා ප්‍රථම කඩුල්ලට පන්දුවාර තුනක දී ලකුණු 42ක් රැස් කළහ. මීට අමතරව නිමේෂ් විමුක්ති නොදැවී ලකුණු 20ක් රැස් කළේ පන්දු හතරක දී හතරේ දෙකක් සහ හයේ දෙකක් සමගය.

හොංකොං කණ්ඩායමේ අයිසාස් ඛාන් පන්දු දහයක දී හතරේ තුනක් හයේ පහක් සමග නොදැවී ලකුණු 44ක් ලබා තරගයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ද හිමි කර ගත්තේය. ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට මෙහිදී ලකුණු රැස් කිරීමට අවස්ථාව උදා නොවීය.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී ශ්‍රී ලංකාවේ ධනංජය ලක්ෂාන් ලකුණු 18ක් රැස් කළ අතර තරිඳු රත්නායක ලකුණු 12කට කඩුල්ලක් දවාලුවේය.

හොංකොං පිලට කඩුලු 4 ක ජයක්

ශ්‍රී ලංකාව පන්දුවාර 6ක දී ලකුණු 79යි – (තානුක දාබරේ 26, නිමේෂ් විමුක්ති නොදැවී 20, ධනංජය ලක්ෂාන් 16, නස්රුල්ලා රානා 4/2)

 හොංකොං පන්දුවාර 3.4 කදී කඩුලු 2ට ලකුණු 80යි  – (අයිසාස් ඛාන් නොදැවී 44, යාසිම් මුර්ටාසා නොදැවී 26, ධනංජය ලක්ෂාන් 17/2)

බංග්ලාදේශයට ලකුණු 14ක ජයක්

බංග්ලාදේශය පන්දුවාර 6 කදී සියල්ල දැවී ලකුණු 75 යි  – (අක්බාර් අලි 32, හබිබුර් රහ්මාන් 21, තරිඳු රත්නායක 12/1, ළහිරු සමරකෝන් 14/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 5.1ක දී කඩුලු 6ට ලකුණු 61 යි – (ධනංජය ලක්ෂාන් 18, ළහිරු සමරකෝන් 13, තානුක දාබරේ 12, මොසාඩෙක් හොසේන් 20/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar