slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2025
ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිකරන ලද නව ගෘහස්ථ පුහුණු අංගනය ක්‍රීඩක අයිතියට

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව ජාත්‍යන්තර මට්ටමින් ඉදිකරන ලද ගෘහස්ථ පුහුණු අංගණය (Indoor Practice Nets) 2025 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත් කරනු ලැබීය. මෙම ගෘහස්ථ පුහුණු අංගනයේදී දඟ පන්දු යැවීම සහ වේග පන්දු යැවීමට අදාළ වන පිතිකරණ පුහුණුවීම් සදහා අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සපයනු ඇත.

පුහුණු මං තීරු 7 කින් සමන්විත වන මෙම ගෘහස්ථ දැල් පුහුණු අංගනයේ තීරු 2 ක් දඟ පන්දු යවන්නන්ට ද තීරු 2 ක් වේග පන්දු යවන්නන්ට උචිත ආකාරයෙන් ද අනෙක් තණතීරු සාමාන්‍ය තණතීරු ලෙසින් ඉදිකර තිබේ.

වැසි සහිත කාලගුණ තත්ත්වයන් යටතේ වුවද අඛණ්ඩව පුහුණුවීම් සඳහා නිර්මාණය කර ඇති මෙම පහසුකම හරහා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, ‘ඒ‘ කණ්ඩායම්. නැගීඑන කණ්ඩායම් සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් මෙන්ම අවු. 17 සහ 15 යන වයස් කාණ්ඩවල ජාතික සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ පිතිකරණ පුහුණුවීම් වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් යොදා ගත හැක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ආරාධනයකට අනුව එහි පැමිණි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම ගෘහස්ථ පුහුණු අංගණය ක්‍රීඩක අයිතියට පත් කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින්ද එක්ව සිටියහ. ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ නායකයින් වන ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයින් සහ කාන්තා කණ්ඩායමේ, අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීින්ද සහභාගිව සිටියහ.

මෙම පහසුකම ඉදිකිරීම හරහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට ගනු ලැබූ නවතම පියවරක් වන අතරම, ජාත්‍යන්තර මට්ටමට සරිලන අයුරින් ක්‍රීඩකයින් සූදානම් කිරීම වෙනුවෙන් කැපවූ ලෝක මට්ටමේ මධ්‍යස්ථානයක් ලෙස එහි තත්ත්වය තවත් ශක්තිමත් කරනු ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතියේ ක්‍රීඩා පිටිය, එළිමහන් පුහුණු තණතීරු 42, සම්පූර්ණ උපකරණ සහිත කායවර්ධන ව්‍යායාම් ශාලා පහසුකම්, මංතීරු 07 කින් සමන්විත නවීන පිහිනුම් තටාකය, තරග විශ්ලේෂණය සඳහා බුද්ධි කේන්ද්‍රය (Brain Center) සහ භෞත චිකිත්සක ඒකකය සමඟ මෙම නව ගෘහස්ථ පුහුණු අංගනය එකතු වීම, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානය කාර්ය සාධනය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

මෙම ගෘහස්ත දැල් පුහුණු අංගණය විවෘත කරනු ලබන්නේ ශ්‍රී ලංකාව එළැඹෙන 2026 ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනය සඳහා සූදානම් වන තීරණාත්මක අවස්ථාවකදීය. එහිදී පාකිස්තානු සහ එංගලන්ත ජාතික කණ්ඩායම් 2026 ජනවාරි සහ පෙබරවාරි මාස තුළ එක්දින සහ විස්සයි–20 තරගාවලියකට ශ්‍රී ලංකාව සංචාරය කිරීමට නියමිත අතර, රටවල් 20 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සමග සම සත්කාරකත්වය දරනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar