ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය ලෙස මැලේසියානු කණ්ඩායම හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන පිළිබඳව අදහස් දක්වමින් නායිකා චමරි අතපත්තු සඳහන් කළේ මැලේසියාවට එරෙහි පළමු තරගය ජයගතහොත් අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය හමුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, එම තරගයද ජයගෙන අවසන් මහ තරගයට පිවිසීම තම කණ්ඩායමේ බලාපොරොත්තුව බවත්ය.
“අපේ පළවැනි ප්‍රතිවාදී කණ්ඩායම විදියට හම්බවෙන්නේ මැලේසියාව. ඒ තරගය ජයග්‍රහණය කළොත් අර්ධ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය හමුවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තරගයත් ජයග්‍රහණය කරලා අවසන් මහ තරගයට යන්න අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් චමරි පැවසුවාය.
ජපානයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලකට ක්‍රීඩා කිරීම තමන්ට අලුත් අත්දැකීමක් වන බවද චමරි සඳහන් කළාය. ජපානයේදී මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගි වී නොමැති බැවින් මෙවර තරගාවලිය තමන්ට විශේෂ අත්දැකීමක් වනු ඇති බව ඇය පෙන්වා දුන්නාය.
කෙසේ වෙතත්, ජපානයේ තණතීරු පිළිබඳව නිශ්චිතව අනාවැකි පළ කළ නොහැකි බවත්, තරගාවලියට සුදුසු තත්ත්වයේ තණතීරු ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
මේ අතර, තරගාවලිය සඳහා සූදානම් වීමට ලැබී ඇත්තේ ඉතාම කාර්ය බහුල තරග සමයකින් පසුව බවද චමරි පෙන්වා දුන්නාය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම මේ වන විට අසනීප තත්ත්වයන්ට මුහුණ දී සිටීම කණ්ඩායමට යම් අභියෝගයක් වී ඇති බවද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවූ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු නිලක්ෂි ද සිල්වා සහ විශ්මි ගුණරත්න ආබාධවලට ගොදුරුව සිටින බැවින් ඒ වෙනුවට හංසිමා කරුණාරත්න සහ අනුෂ්කා සංජීවනීව කණ්ඩායමට එක් කළ බවද සඳහන් කර සිටියාය. තරගාවලිය සඳහා පවතින කෙටි කාලයත් සමඟ කණ්ඩායමට යම් වෙහෙසකාරී තත්ත්වයක් ඇති වී තිබීම මෙම ආබාධවලට හේතුවන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවද ඇය පැවසුවාය.
මේ අතර ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ ලද තරග පරාජය පිළිබඳවද අදහස් දැක්වූ චමරි පෙන්වා දුන්නේ එම තරගයේ පළමු පන්දුවාර කිහිපයේදීම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය බවයි. විශේෂයෙන්ම පවර් ප්ලේ අවස්ථාව නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකි වීම එම පරාජයට බලපෑ ප්‍රධාන කරුණක් බවද ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, එම අත්දැකීම්වලින් පාඩම් ලබා ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලේදී වඩාත් හොඳ ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටී.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සෘජුවම අවසන් අට දෙනාගේ වටයෙන් ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව මැලේසියාව සමඟත්, ඉන්දියාව ජපානය සමඟත්, පාකිස්තානය තායිලන්තය සමඟත්, බංග්ලාදේශය චීනය සමඟත් මූලික තරගවලදී තරග වැදීමට නියමිතය.
2023 වසරේ චීනයේ හැන්ග්ෂෝ නගරයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී කාන්තා සහ පිරිමි ක්‍රිකට් ඉසව් දෙකෙහිම රන් පදක්කම් දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායම් සමත් වූහ. ඒ අනුව මෙවරද ඉන්දියාව ප්‍රබලතම කණ්ඩායමක් ලෙස තරගාවලියට එක්වන අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද පදක්කමක් ඉලක්ක කරමින් තරගාවලියට පිවිසෙයි.
කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වෙන අතර, පිරිමි ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 1 දක්වා ජපානයේ අයිචි-නාගෝයාහිදී පැවැත්වීමට නියමිතය.





