slc
logo
Home   |    News
දෙසැම්බර් 16, 2025
ඩී.එස්. ද සිල්වා මහතා ජීවන ගමනට සමුදෙයි!

sinhala editor

ඔහු 1982 වසරේදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වූවේය. පසු කළෙක ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔහු ක්‍රිකට් පුහුණු කරුවකු ලෙසින් ද අනතුරුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් පත් කරන ලද අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළේය. මෙරට ක්‍රිකට් කෙළිමඩළේ මෙන්ම පරිපාලනයේදී  ප්‍රධාන තනතුරු රැසකට පණ පෙවූ අප කථා නායකයා 2025 දෙසැම්බර් මස 15 වැනිදින සිය ජීවන කෙළිමඬලට සමු දුන්නේය. ඒ වෙන කවුරුත් නොව දන්දෙණියගේ සෝමචන්ද්‍ර ද සිල්වා හෙවත් අප කවුරුත් හඳුනන ඩී. එස්. ද සිල්වා මහතාය.

ඒ මහතාගේ අභාවය පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව බලවත් ශෝකය පළ කර සිටියි.

එංගලන්තයේ ලන්ඩන් නුවර දිවි ගෙවූ ඩී. එස්. ද සිල්වා මහතා මිය යන විටත් 83 වැනි විය පසුවූවේය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවනීය චරිතයක් වූ ද සිල්වා මහතා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ලද මංගල ටෙස්ට් තරගයේ සාමාජිකයකු ලෙස කටයුතු කළා පමණක් නොව ටෙස්ට් තරග දෙකකදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට වරම් ලද්දේය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසුවද පුහුණුකරුවකු මෙන්ම කණ්ඩායම් කලමණාකරුවකු ලෙස කටයුතු කළ ඩී. එස්. ද සිල්වා මහතා ජාතික තේරීම් කමිටු සාමාජිකයකු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවිධ තනතුරැ ගණනාවක කටයුතු කරමින් ක්‍රීඩාවට අඛණ්ඩ දායකත්වයක් ලබා දුන්නේය.

2009 වසරේදී එවකට ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙසද ඩී. එස්. ද සිල්වා මහතා කටයුතු කළ අතර, 2011 වසර වන තුරු එම ධුරය දරමින් පරිපාලන ක්ෂේත්‍රයේද වැදගත් මෙහෙවරක් ඉටු කළේය. අනතුරුව ඔහු ක්‍රිකට් පරිපාලනයෙන් සම්පූර්ණ විශ්‍රාම ගත්තේය.

මෙරට පාසල් සහ දේශීය ක්‍රීඩා සමා පිටිය වර්ණවත් කළ ද සිල්වා මහතා 70 දශකයේ අග භාගය වන විට එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරග නියෝජනය කිරීමට තරම් දක්ෂ වූවේය. 1982 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට පිවිසෙන අවස්ථාවේ ඩී. එස්. ද සිල්වා මහතා පැමිණියේ එංගලන්තයේ ක්‍රීඩා කරමින් සිටිදීය.

1942 වසරේ ජුනි මස 11 වැනි දින ගාල්ලේදී උපත ලැබූ ඩී. එස්. ද සිල්වා මහතා ගාල්ල රිච්න් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබීය. පාසල් වයසේ සිටම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඩී.එස්. මහතා සමසත්වීම නිසා 1975 වසර වන විටම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා වරම් හිමි කර ගැනීමට සමත්වූවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12කට ක්‍රීඩා කළ ඩී. එස්. ද සිල්වා පිතිකරුවෙකු ලෙස ලකුණු 406ක් රැස් කළ අතර පාදග පන්දු යවන්නෙකු ලෙස කඩුලු 37ක් දවාගැනීමට සමත් විය. ටෙස්ට් පිතිකරු ලෙස අර්ධ ශතක දෙකක් ඔහුගේ නමට ඇතුළත් වන අතර ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 61කි. පන්දු යවන්නෙකු ලෙස ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස ලකුණු 59කට කඩුලු පහක් දවාගැනීම වාර්තා වේ. එමෙන්ම ජාත්‍යන්තර එක්දින තරග 41කට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු එහිදී කඩුලු 32ක් ලබාගත්තේය.

ක්‍රීඩකයෙකු ලෙසත්, නායකයෙකු ලෙසත්, පරිපාලකයෙකු ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අමරණීය සටහන් තැබූ ඩී. එස්. ද සිල්වා මහතාගේ අභාවය මෙරට ක්‍රිකට් ලෝකයට පිරවිය නොහැකි පාඩුවකි. ඔහුගේ දායකත්වය, කැපවීම සහ ක්‍රීඩාවට ඇති ආදරය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සදාකාලිකව ජීවමානව පවතිනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee