slc
logo
Home   |    News
ජනවාරි 2, 2026
මංගල ප්‍රදීප් ලකුණු 83කට කඩුලු අටක් දවා ගනියි

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද වැලිසර නාවික හමුදා පිටියේ පැවැති නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ මංගල ප්‍රදීප් ලකුණු 83කට කඩුලු අටක් දවා විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. මංගල ප්‍රදීප් මේ තරගාවලියේ මේ වන විට දෙවන වැඩිම කඩුලු දවාලු ක්‍රීඩකයා බවට පත්ව සිටී.

 මීට අමතරව කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මොරටුව ක්‍රීඩා සමාජයේ ගයාන් සිරිසෝම ද දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවාලුවේ ලකුණු 81ක් ලබා දෙමිනි.

 පිට පිටම ජයග්‍රහණ හතරක්ම ලබා සිටින එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ අද බ්ලුම්ෆිල්ඩ් ක්‍රීඩාංගණයේ දී සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සමග තරගයේ දී නැවත වතාවක් දක්ෂතා අතරට පිවිසෙමින් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී ලකුණු 99කට දවාලුවේය. එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ප්‍රමෝද් මධුෂාන් මෙදින ලකුණු තිහකට කඩුලු හතරක් දවා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. ඉනිම කිහිපයකම කඩුලු පහ සහ එය ඉක්මවා දවා මේ වන විට පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන්ම පසු වන දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය මේ තරගයේ දී දවාලුවේ ලකුණු 27කට කඩුලු දෙකකි.

 පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන යුද හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී මුලින් පන්දුවට පහරදෙන යුද හමුදා ක්‍රීඩා සමාජය වරක් ලකුණු 76කට කඩුලු හයක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියේය. මේ අවස්ථාවේ හත් වන කඩුල්ලට නායක සීක්කුගේ ප්‍රසන්න සහ සෙහද සොයිසා ලකුණු 152ක් රැස් කරමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කිරීමට මුල් විණි. යුද හමුදා ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු අසූව ඉක්ම වීම ද විශේෂත්වයකි. එම පිතිකරුවන් වුයේ ලකුණු 84ක් රැස් කළ සීක්කුගේ ප්‍රසන්න ලකුණු 82ක් ලැබු සෙහද සොයිසා සහ නොදැවී ලකුණු 82ක් රැස් කළ රත්නරාජා තෙනුරාජන්ය.

 පන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් කඩුලු පහ බැගින් දවාලුවත් පිතිකරුවන් කිහිප දෙනෙකුම ලකුණු අසූව ඉක්මවා රැස් කළහ.

 කොළඹ මැලේ ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගයේ දී කොළඹ මැලේ ක්‍රිකට් කණ්ඩායමේ තිසර මල්ෂාන් පන්දු 116කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 91ක් රැස් කර ශතකය ආසන්නයේ පසු වේ. එහෙත් ඔහුගේ කණ්ඩායමේ කඩුලු නවයක්ම මේ වන විට ලකුණු 272කට දැවී ගොස් සිටී.

ලකුණු සාරංශය

  • සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය – එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 45.1ක දී සියල්ල දැවී ලකුණු 99 – නුවනිඳු නිර්මාල් 37, මිරංග වික්‍රමගේ 11, රුසිරු විලෝචන 11, ප්‍රමෝද් මධුශාන් 30/4, කසුන් රාජිත 21/2, ප්‍රභාත් ජයසූරිය 27/2

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 40.4ක දී කඩුලු 5ක් දැවී ලකුණු 163 – කෙනුල් ද සොයිසා 70, අවිශ්ක ප්‍රනාන්දු 57, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 22, බිෂාන් හෙට්ටිආරච්චි 24/2, මිරංග වික්‍රමගේ 37/2, චරිත් රාජපක්ෂ 21/1

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 66ක දී සියල්ල දැවී ලකුණු 260 – ආසිරි ද සිල්වා 65, තෙවිඳු දික්වැල්ල 50, රවීන් තරිඳු 37, පූර්ණ චාරුක 25, ගිහාන් ද සොයිසා නොදැවී 22, වරුණ මයන්ත 16, උවිඳු පෙරේරා 14, මංගල ප්‍රදීප් 83/8, මල්ෂාන් ගුණසිංහ 91/2

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 24ක දී කඩුලු 3ක් දැවී ලකුණු 68 – අකීල් ඉන්හම් නොදැවී 27, හිරුන් සිගේරා 19, අෂේන් මෙන්ඩිස් 16, ඉෂාන් අබේසේකර 7/1, ගිහාන් ද සොයිසා 17/1

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – රාගම ක්‍රිකට් සමාජය – පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 76ක දී කඩුලු 9ක් දැවී ලකුණු 361 – සීක්කුගේ ප්‍රසන්න 84, රත්නරාජ තෙනුරාජන් නොදැවී 82, සෙහද සොයිසා 82, මල්ක මධුශංක 19, ඉෂාර මෙන්ඩිස් 19, අෂාන් සුදර්ශන 18, ක්‍රිෂේන් අපෝන්සු 18, හරීන් රත්නමුදලි 69/3, කසුන් කරුණාතිලක 84/3, උපුල් ඉන්ද්‍රසිරි 110/2

  • කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – ගාල්ල ක්‍රිකට් සමාජය – මුවර්ස් ක්‍රීඩාංගණයේ දී

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 84ක දී කඩුලු 9ක් දැවී ලකුණු 272 – තිමිර මල්ෂාන් නොදැවී 91, බුද්ධික හසරංග 89, වෝෂිත අමරසිංහ 22, යේසිත් රූපසිංහ 19, විදුනෙත් විල්සන් 15, චානක දේවින්ද 15, සුභානු රාජපක්ෂ 71/4, හංසමන ද සිල්වා 48/2, රජීව වීරසිංහ 68/2

  • කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය – දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 76ක දී කඩුලු 9ක් දැවී ලකුණු 204 – ලක්ෂාන් ගමගේ 52, ළහිරු අත්තනායක 51,  ප්‍රමේෂ් මධුභාෂණ 21, අෂාන් රන්දික 21, යශෝධ මෙන්ඩිස් 18, ගයාන් සිරිසෝම 81/5, චානක රුවන්සිරි 62/2, විදුර ලක්ෂාන් 13/1

­­

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee