ශ්‍රී ලංකා තරග සංචාරයේදී සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින අත්දැකීම් සතු එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් යනු ලෝක මට්ටමේ පිතිකරුවකු බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පිළිගනු ලබන නමුත්, තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිත තීරණාත්මක තෙවැනි තරගයේදී ඔහුගේ කඩුල්ල ඉක්මනින්ම දවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අමුරණ වී තිබෙන බව සඳහන් කර සිටියේ.
“ජෝ රූට් ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක්. ඔවන්ගේ බැටිං ලයින් අපි එක ගත්තහම ඔහු තමයි එක්ස්පීරියන්ස්ම ක්‍රීඩකයා. ලකුණු මං හිතන්නේ 20,000 කට වැඩිය ලකුණු රැස් කරලා තියෙනවා. ඔහු අභියෝයක් දෙනවා. අපිට. අපිත් බලාපොරොත්තු වෙනවා ඔහුව කොහොම හරි ඉක්මනින් දවාගන්න. නමුත් පළමු තරගයෙද්ත් ඔහු ලකුණු රැස් කළා. නමුත් අපි තරගය ජයග්‍රහණය කළා. මං හිතන්නේ ලොකු සාධකයක් වෙයි. නමුත් මං හිතන්නේ අපේ බේසික්ස් ටික හරියට කරලා අපි හොද ෆ්ලැට් ෆෝම් එකක් සෙට් කළොත් පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුලුවන් වෙයි කියලා” යැයි අසලංක පැවසීය.
2021 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ශ්‍රී ලංකාවේදී සහභාගිවුණු එකම එක්දින තරගාවලියකදී හෝ පරාජයට පත්ව නොමැති බැවින් එම අපරාජිත භාවය තවදුරටත් රැක ගැනීම සඳහා හෙට තරගයේ ජය ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වේ.
මෙම තීරණාත්මක තරගය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බවත්, ඔහු ක්‍රීඩා කළද කණ්ඩායමට ඇතුළත්ව සිටින අනෙක් පා දඟ පන්දු යවන්නා වන ජෙෆ්රි වැන්ඩර්සේද හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නායකයා අද (26 දා) පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියේය.
දෙරට අතර මෙතෙක් පැවැති තරග අතරින් පළමු තරගය ලකුණු 19 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වද්දී දෙවැනි තරගයෙන් ජය ගත් එංගලන්ත කණ්ඩායම ජයගෙන තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සමත්විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා, දෙවැනි තරගයේ ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතර තුරදී අවසන් පන්දුවාර 10 දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව අඩුවීම එම තරගයේ පරාජයට බෙහෙවින්ම බලපෑ බව සඳහන් කර සිටියේය.
“අපි පළමු තරගයෙදි 270 ක් 80 ක් රැස් කළා. කවුරුත් කැමැති නෑ අඩුවෙන් ලකුණු රැස් කරන්න. මොකද බෝලර්ස්ලාට ටාගට් එකක් තියෙන්න ඕන අපි මුලින් බැට් කළොත් බෝල් කරන්න. ඉතිං මං හිතන්නේ අවාසනාවන්ත ලෙස තණතීරුව වෙනස් වෙලා තිබුනා. නමුත් 220 කියන්නේ ඒ තණතීරුවේ ටෝටල් එක නොවෙයි. මං දැවී යන වෙලාවෙත් මගේ ටාගට් එක තිබුණේ 250 ක් හෝ 260 ක් අතර ගාණකට යන්න පුලුවන් කියලා. අපි අවසාන පන්දුවාර 10 ට ලකුණු 47 යි රැස් කළේ. ඉතිං මං හිතන්නේ සාමානයයෙන් අපි 80 ක් තියන් යන එක 47 ට නැවතුණාම පන්දු යවන්නන්ට ඉතාමත් අමාරුයි“ යැයි චරිත් සඳහන් කර සිටියි.
එක්දින තරගයකද අවසන් පන්දුවාර 10 දී වේගයෙන් පන්දුවට පහර දීමට කණ්ඩායම් පියවර ගනු ලැබුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට එම පන්දුවාර 10 ඇතුළතදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 47 ක් පමණි. එයිනුත් පන්දු 3 ක් ඉතිරිව තිබියදී ඉනිම නිමාවට පත්විණ. මෙම තත්ත්වය තරගයේ තීරණයට බෙහෙවින්ම බලපෑ බව චරිත්ගේ විශ්වාසය වී තිබේ.
මේ අතර පිතිකරණ ලැයිස්තුවේ අංක 7 ස්ථානයෙන් පවන් රත්නායක පන්දුවට පහර දීමට සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍ය විසින් අසලංකගෙන් ප්‍රශ්න කර සිටි අතර එහිදී අදහස් දැක්වූ අසලංක, එම තීරණ තමාගේ තනි තීරණ නොවන බවත් පුහුණුකරු සහ තේරීම් කමිටුව සමඟ එක්ව ගනු ලබන සාමුහික තීරණ බවත් සඳහන් කර සිටියේය.
“මගේ අදහස මම දැනටමත් කියලා තියෙනවා. නමුත් තීරණය මගේ එකක් නෙවෙයි. නව තේරීම් කමිටුව, පුහුණුකරු සහ කණ්ඩායම් කළමනාකරණය එක්ක සාමූහිකව ගන්නා තීරණයක්. ඉදිරියේදී ඔහු බැටිං ඕඩරේ උඩට එන එක හොඳයි කියලා මම තවමත් හිතනවා,” යැයි ඔහු සඳහන් කළේය.
දඟ පන්දු යවන්නන් පිළිබඳව අදහස් දක්වමින්, අද ලෝක ක්‍රිකට් තුළ ස්පින්ට එරෙහිව ක්‍රීඩා කිරීමේ හැකියාව රටවල් බොහොමයක් දියුණු කරගෙන ඇති බවද අසලංක පෙන්වා දුන්නේය. “ඉස්සර වගේ නෑ දැන්. ගොඩක් රටවල් ස්පින්ට හොඳින් ක්‍රීඩා කරනවා. ඒ වගේම ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්වත් වැඩි වශයෙන් භාවිත කරනවා. ලීග්ස් වැඩිවෙලා තිබෙන නිසා හැමෝම තමන්ගේ ගේම් එක වැඩි දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා දැන් ලොකු කරට කර සටන් දකින්න ලැබෙනවා,” යැයි චරිත් සඳහන් කර සිටියේය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවන්හිදී නිලකුණු පන්දු වැඩි සංඛ්‍යාවක් සටහන් වීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට බලපෑවේද යන්න ප්‍රශ්න කිරීමේදී චරිත් අසලංක සදහන් කර සිටියේ මෙවන් අදහසකි. “මෙවැනි තණතීරුවල කඩුලු අතර පැති මාරු කර ගැනීම අසීරු වුවත්, එය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව අවම වීම බාධාවීමට තරම් හේතුවක් වෙන්න බැහැ“ යැයි සඳහන් කර සිටි අසලංක “අපි හතරේ සහ හයේ පහර වලින් ඒවා කවර් කරන්න ඕන. නැත්නම් අපි එකේ ලකුණු දෙකේ ලකුණු දුවන ඒවා වැඩිපුර කරන්න ඕන. ඒ නිසා මං හිතන්නේ මීට වඩා අපි ස්මාර්ට් වෙන්න ඕන. ඒක හොඳින් වුණා පළමු තරගයේදී. දෙවැනි තරගයේදී ඒ අවස්ථාව අපි මිස් වුණා. නැවතත් පළමු තරගයේ රිදිමයට එන්න බලාපොරොත්තු වෙනවා“ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.





