slc
logo
Home   |    News
ජනවාරි 2, 2026
ලෝක කුසලානෙට පෙර බිලියන 1.7 ක සළු පළඳින එස්.එස්.සී. ක්‍රීඩාංගණය

sinhala editor

මේ වසරේ පෙබරවාරි 07 වැනිදා කොළඹදී ආරම්භවීමට නියමිත අයි.සී.සී  පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ සිංහල සමාජ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ අඛණ්ඩ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1.7 ක ට අධික මුදලක් වැය වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා සඳහන් කර සිටියි.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සිදුවන නවතම සංවර්ධන කටයුතු පිළිබඳව මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය විසින් අද (02 වැනිදා) නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කරන ලද අතර ඒ අතරතුරදී භාණ්ඩාගාරිකවරයා ඉහත අදහස් පළ කර සිටියේය.

2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ අතරින් එක් ක්‍රීඩාංගණයක් වන කොළඹ SSC ක්‍රීඩාංගණයේදී, තරගාවලියේ සමාරම්භක තරගය පෙබරවාරි මස 07 වැනිදා පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිතය. එමෙන්ම මෙම තරගාවලියේදී SSC ක්‍රීඩාංගණයේ තරග පහක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මාධ්‍ය වේදීන් අසන ලද ප්‍රශ්න සදහා වැඩිදුරටත් පිළිතුරු ලබා දුන් ගොඩලියැද්ද මහතා, ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනවාරි මස 20 වැනි දින වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කර සිටියේය.

ලෝක කුසලාන ඉතිහාසයේදී පළමු වරට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන ලද 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයක් ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩාංගණය උපයෝගී ගත්තද ක්‍රීඩාංගණය තුළ ආලෝක පද්ධතියක් ස්ථාපනය කිරීමෙන් පසු පවත්වනු ලබන පළමු ලෝක කුසලාන තරගාවලිය වන්නේ මෙම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති නව විදුලි ආලෝක පද්ධතිය, අති නවීන එල්.ඊ.ඩී. (LED) තාක්ෂණය මත පදනම්ව නිර්මාණය කර ඇති අතර, ජාත්‍යන්තර ක්‍රීඩා සහ රූපවාහිනී විකාශන අවශ්‍යතාද සම්පූර්ණයෙන්ම සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

කෙල්වින් 5700 ක වර්ණ උෂ්නත්වයකින් සහ 90 ක වර්ණ විදැහුම්කරණ දර්ශකයක් (CRI) සහිත උසස් කාර්ය සාධනයක් සහිත LED ලුමිනියර් භාවිතා කරමින් මෙම ආලෝක පද්ධතිය නිර්මාණය කර ඇති අතර එමගින්, ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘෂ්‍ය පැහැදිළිතාවක් ලබාදේ.

මුලු ක්‍රීඩාංගනය පුරාම ඒකාකාර ආලෝකකරණ මටටමක් ලබා ගැනීම සඳහා විදුලි ආලෝක කුළුණු හයක් මත උපායමාර්ගිකව එල්. ඊ. ඩී. ආලෝක සවි කිරීම් 630 ක් භාවිතා කර ඇත. මෙම පද්ධතිය මගින් දීප්තිය වැඩි කරමින් සෙවණැලි අවම කර, උසස් ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කිරීමට හැකිව ඇත.

මෙම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය ස්ථාපත කිරීම සදහා වන බරපැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ලබන බවද සඳහන් කර සිටි ගොඩලියැද්ද මහතා, මෙහ දිගු කාලීන ආයෝජනයක් ලෙසින් සැලකෙන බවද සඳහන් කර සිටියේය.

“මෙය ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සදහා ආයෝජනයක්. මෙම වැඩි දියුණු කිරීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් නොවෙයි. අන්තර් පාසල් තරග, ක්‍රීඩා සමාජ තරග මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩාංගණය අනාගතයේ භාවිතා කිරීමේ අරමුණින් සිදුකෙරෙන්නක්“ යැයිද ගොඩලියැද්ද මහතා සඳහන් කර සිටියේය.

මෙම විදුලි ආලෝක ධාරා පද්ධතිය ස්ථාපනය කිරීමට අමතරව,  SSC ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රීඩක විවේකාගාර වැඩිදියුණු කිරීම, තරඟ තීරක, තෙවන විනිසුරු සහ දූෂණ විරෝධී නිලධාරීන් සඳහා නවතම කාමර ඉදිකිරීම, පවතින මාධ්‍ය කුටිය සහ තරග විකාශන පාලක මැදිරිය (BCR) වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම, මෙන්ම විශේෂ ආරාධිත අමුත්තන් වෙනුවෙන් වන නව ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමද මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික, විනිසුරු කමිටු ප්‍රධානී, මෙන්ම සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු ප්‍රධානී සමන්ත දොඩන්වෙල මහතාද සහභාගිව සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee