එළැඹෙන ජනවාරි මස 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා සිම්බාබ්වේ සහ නැමීබියාවේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද (2026 ජනවාරි 01 වැනිදා) පස්වරුවේදී අප්‍රිකානු මහද්වීපය බලා පිටත්ව යනු ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 16 වැනි වතාවත් සංවිධානය කරනු ලබන මෙම යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සර විසින් මෙහෙයවනු ඇත. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද මෙම කණ්ඩායමේ උප නායකයා ලෙස විමත් මෙන්ම ඉකුත් වසර 2 ක පමණ කාලය පුරාවටම යොවුන් කණ්ඩායම නියෝජනය කළ මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩක කවීජ ගමගේ කටයුතු කරනු ඇත.
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනා අතුරින් ක්‍රීඩකයින් 7 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇතුළත්ව සිටිත්දී සෙසු 8 දෙනා මහනුවර, මාතර සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් තේරීපත්වීම කැපී පෙනෙන සිදුවීමකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික වැඩපිළිවෙළ යටතේ ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහන ඉතාමත් සාර්ථකත්වයට පත් වෙමින් මෙරට අස්සක් මුල්ලක් නෑරම සිටින දක්ෂයින් සොයා යමින් සිටියි. එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙසින් මෙම යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද කණ්ඩායම හැඳින්විය හැකි.
ඒ අතර ඉකුත්දා ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම අහිමි වුණු යාපන ශාන්ත ජෝන් විදුහලේ කුගදාස් මාතුලන්ද ඇතුළත් සිටියි. එක්සත් අරාබි එමීර් රාජයයේ පැවැති යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන මූලික කණ්ඩායමට මාතුලන් ඇතුළත්ව සිටියද ඇතිවූ ආබාධයක් හේතුවෙන් අවසන් මොහොතේ එම තරග සංචාරයෙන් වැළකී සිටීමට ඔහුට සිදුවිය. ඒ වෙනුවට තරගාවලියට සහභාගිවන ලද්දේ වමතින් දඟ පන්දු යවන හිමාල් රවිහංසය.
මාතුලට කණ්ඩායමට පැමිණීමේදී රවිහංසට සිය ස්තානය අහිමිව තිබේ. මේ අතර යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහාගිවූ කණ්ඩායමේ සාමාජිකයින් වූ කිත්ම විදානපතිරණ, සනුජ නිඳුවර සහ තරූෂ නවෝද්‍ය වෙනුවට වෙස්ලි විදුහලේ, ජීවන්ත ශ්‍රීරාම්, මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ සෙනුජ වෙකුණගොඩ සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ මලින්ත සිල්වා එක් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ.
දකුණත් වේග පන්දු යවන ජීවන්ත ශ්‍රීරාම් සහ පිට දඟ පන්දු යවන මලින්ත සිල්වා යොවුන් ජාතික කණ්ඩායම නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වන අතර, යොවුන් ආසියානු කුසලාන තරගාවලියේදී ඉවත් කර තිබූ සෙනුජ වෙකුණගොඩද නැවතත් මෙම සංචාරය සඳහා නම් කර තිබේ.
| ක්‍රීඩකයා | පාසල | |
| විමත් දින්සර (නායක) | රාජකීය විදුහල – කොළඹ | |
| කවීජ ගමගේ (උප නායක) | කිංග්ස්වුඩ් විදුහල – මහනුවර | |
| දිමන්ත මහවිතාන | ත්‍රිත්ව විදුහල – මහනුවර | |
| විරාන් චමුදිත | ශාන්ත ශර්වේෂස් විදුහල – මාතර | |
| දුල්නිත් සිගේරා | මහානාම විදුහල – කොළඹ | |
| චාමිික හීනටිගල | මහානාම විදුහල – කොළඹ | |
| ආදම් හිල්මි | ත්‍රිත්ව විදුහල – මහනුවර | |
| චමරිඳු නෙත්සර | ශාන්ත ශර්වේෂස් විදුහල – මාතර | |
| සෙත්මික සෙනෙවිරත්න | ත්‍රිත්ව විදුහල – මහනුවර | |
| කුගදාස් මාතුලන් | ශාන්ත ජෝන් විදුහල – යාපනය | |
| රසිත් නිම්සර | ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල | |
| විග්නේෂ්වරන් ආකාශ් | ශන්ත ජෝශප් විදුහල – මරදාන | |
| ජීවන්ත ශ්‍රීරාම් | වෙස්ලි විදුහල – කොළඹ | |
| සෙනුජ වෙකුණගොඩ | ශාන්ත ජෝෂප් විදුහල – මරදාන | |
| මලින්ත සිල්වා | ශාන්ත සෙබස්තියන් විදුහල – මොරටුව |





