slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2026
දෙවැනි තරග ජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින ශූරතාවය දිනාගනිති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම දෙවැනි එක්දින තරගය ලකුණු 14කින් ජයගනිමින් තරගාවලිය තරග 2-0ක් ලෙස හිමිකර ගැනීමට සමත් විය. මීට පෙර පැවැති ප්‍රථම තරගයද ලකුණු 10කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය තහවුරු කර ගැනීම විශේෂත්වයකි.

මෙම ජය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකනු ලැබේ. කොදෙව් බිමේදී එක්දින තරගාවලියක් ජයගත් දෙවැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ. මීට පෙර, වසර 24කට පෙර 2002දී, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් දේශයේදී අතිවිශිෂ්ට ජයක් වාර්තා කළේය.

එම 2002 සංචාරය සිදු වූයේ සුතර්ෂනී ශිවනාගම්ගේ නායකත්වය යටතේය. තරග 6කින් සමන්විත වූ එම එක්දින තරගාවලිය 6-0ක් ලෙස පූර්ණ ජයක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී. එය අදටත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම විදේශ ජයග්‍රහණ අතරින් එකක් ලෙස සැලකේ.

වර්තමාන කණ්ඩායමේ මෙම ජයග්‍රහණය, එම ඉතිහාසගත ජය මතකයට නැංවීමක් වශයෙන් ද වැදගත්ය. විදේශ භූමියකදී, විශේෂයෙන්ම කොදෙව් වැනි ශක්තිමත් කණ්ඩායමක් එරෙහිව තරගාවලියක් 2-0ක් ලෙස ජය ගැනීම, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ කාර්යක්ෂමතාව, සංවිධානය සහ ආත්මවිශ්වාසය පැහැදිලි කරයි.ශාන්ත ජෝර්ජ්ස් ජාතික ක්‍රීඩාංයේදී පැවැති මෙම තරගයේදී  කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී ලකුණු 208ක් රැස් කළාය. අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි විශ්මි ගුණරත්න පන්දු 66කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 58ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළාය. හර්ෂිතා සමරවික්‍රම (35) සහ නායිකා චමරි අතපත්තු (32) ද මැදපෙළ ශක්තිමත් කරමින් වටිනා දායකත්වයක් ලබා දුන්නහ. අවසන් භාගයේ නිලක්ෂිකා ද සිල්වා පන්දු 22කින් ලකුණු 29ක් රැස් කරමින් ඉනිමට වේගයක් එක් කළාය.

ලකුණු 209ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 194කි. ජැනිලියා ග්ලාස්ගෝ ලකුණු 50ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ සංවිධානාත්මක පන්දු යැවීම හමුවේ ජයග්‍රහණය අහිමි විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් ඉනෝකා රණවීර ලකුණු 44කට කඩුලු 3ක් ද, සුගන්ධිකා කුමාරි ලකුණු 38කට කඩුලු 3ක් ද බිඳ දමා ජයග්‍රහණයට මූලික දායකත්වය ලබා දුන්නහ. දෙව්මි විහංගා කඩුලු 2ක් ලබා ගත් අතර, චමරි අතපත්තුද කඩුල්ලක් හිමිකර ගත්තාය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ තවත් සුවිශේෂී පියවරක් ලෙස සැලකිය හැකිය. විදේශ භූමියක දී තරගාවලියක් 2-0ක් ලෙස ජය ගැනීම කණ්ඩායමේ විශ්වාසය, සංවිධානය සහ ක්‍රීඩා ශක්තිය ප්‍රකාශ කරයි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 47.1ක දී සියල්ල දැවී ලකුණු 208 – විශ්මි ගුණරත්න 58, හර්ෂිතා සමරවික්‍රම 35, චමරි අතපත්තු 32, නිලක්ෂිකා ද සිල්වා 29, හසිනි පෙරේරා 14, සුගන්ධිකා කුමාරි නොදැවී 10, කරිෂ්මා රාම්හරාක් 26/3, හේලි මැතිව්ස් 44/2, ඇෆී ෆ්ලෙචර් 40/2

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 48ක දී සියල්ල දැවී ලකුණු 194 – ජැනිලියා ග්ලාස්ගෝ 50, ෂේමේන් කැම්බල් 30, ස්ටෙෆානි ටේලර් 27, ඇෆි ෆ්ලෙචර් 20, ඉනෝකා රණවීර 44/3, සුගන්ධිකා කුමාරි 38/3, දෙව්මි විහංගා 33/2, චමරි අතපත්තු 35/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee