slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2026
ශ්‍රී ලංකාව සුපිරි අට වටයට කළින්ම ගෙනා පැතුම්ගේ සුපිරි ඉනිම

sinhala editor

ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සඳුදා (16) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 182 ක ඉලක්කයක් පන්දුවාර 18 කදී සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8 ක ජයක් වාර්තා කර ගැනීමට සමත්වූවේය. මෙම ජයග්‍රහණයත් සමග මූලික තරග වටය යටතේ තවත් තරගයක් (සිම්බාබ්වේට එරෙහිව) ඉතිරිව තිබියදීම සුපිරි කණ්ඩායම් අට අතර තරගය වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධානතම චරිතය බවට පත්වූයේ පන්දු 52 කින් නොදැවී ලකුණු 100 ක් වාර්තා කරගත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකය. තරගාවලියේ පළමු ශතකය බවට පත්වුණු පැතුම්ගේ මෙම සුවිශේෂී ඉනිම හේතුවෙන් ඔහුට එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයද හිමිවිය. එම ශතකය පැතුම්ගේ විස්සයි-20 තරග දිවියේ 2 වැනි ශතකය ලෙසින් සටහන් විය.

නිශ්ශංක සමඟ දෙවන කඩුල්ල සඳහා ලකුණු 97ක වේගවත් සබඳතාවක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් පන්දු 38කින් ලකුණු 51ක් රැස් කළේය. 13වන පන්දුවාරයේදී මෙන්ඩිස් දැවී ගියද, එතැන් සිට නිශ්ශංක වේගය වැඩි කරමින් තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙතට හරවා ගත්තේය. ඔහු අවසන් පන්දු 20 තුළ හතරේ පහර 5 ක්සහ හයේ පහර 3ක් සමගින්  ලකුණු 50ක් රැස් කළේ ශ්‍රී ලංකා ජයග්‍රහණය පන්දුවාර 2 කට පෙර ලබා දෙමිනි.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ නිශ්ශංක සඳහන් කළේ, පළමු කඩුල්ල දැවී ගිය පසු පවර් ප්ලේ පන්දුවාර හය හොඳින් භාවිතා කරමින් තරගයේ රැඳී සිටීමට සැලසුම් කළ බවයි. පින්න පැමිණේවි යන අපේක්ෂාවෙන් 12 පන්දුවාරය වනතුරු සාමාන්‍ය වේගයෙන් ක්‍රීඩා කර, ඉන්පසුව ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවද ඔහු පැවසීය.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ නිශ්ශංක, “පළමු කඩුල්ල දැවී ගිය පසු කුසල් සහ මම හොඳ පවර් ප්ලේ එකක් ලබාගන්න සැලසුම් කළා. ඔහු හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඒක මට පහසු වුණා. පින්න ටිකක් එයි කියලා අපි හිතුවා. ඒ නිසා 12 පන්දුවාරය වනතුරු සාමාන්‍ය ලෙස ක්‍රීඩා කරලා, ඉන්පසුව එක් අයෙක් වේගයෙන් ප්‍රහාරයක් එල්ල කරන්න අපි සැලසුම් කළා,” යනුවෙනි.

“මෙම ලෝක කුසලානයේ ශතකයක් ලබාගැනීම මගේ විශාල ඉලක්කයක් වුණා. ඒක සාර්ථක වීම ගැන සතුටුයි. මේ තණතිල්ල අපි කලින් ක්‍රීඩා කර තිබුණා. එය පන්දුවට පහරදීමට හොඳයි කියලා අපි දැනගෙන හිටියා. අපි දෙන්නා හොඳින් ක්‍රීඩා කළ නිසා ඔවුන්ට අපට එරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරන්න අමාරු වුණා,” යැයි නිශ්ශංක පැවසීය.

නිශ්ශංකගේ දක්ෂතාවය පිතිකරුවෙකු ලෙස පමණක් නොව, පන්දු රැකීමේදීද දැකිය හැකි විය. ඔහුට එක් අවස්ථාවකදී ග්ලෙන් මැක්ස්වෙල් ලබා දුන් උඩ පන්දුවක් ගිලිහී ගියද ඊට පසුව ලබා දුන් උඩ පන්දුව ඉතා විශිෂ්ඨ අයුරින් රැක ගත්තේ ඔස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කිරීමට දායකත්වය ලබා දෙමිනි. එම විශිෂ්ඨ ගණයේ ලා වූ උඩපන්දුවට පෙර පන්දුවාරයේදී මැක්ස්වෙල්ගේ පහසු උඩපන්දුවක් ගිලිහී යෑම නිසා තමන් කණගාටු වූ බවද ඔහු පැවසීය.

“පළමු උඩපන්දුව ගිළිහුණු විට මම ගොඩක් කණගාටු වුණා. ඔහුගේ කඩුල්ල ගන්න අපට අවශ්‍යයි කියලා මම දැනගෙන හිටියා. ඒ මොහොතේ මම තීරණය කළා කණ්ඩායම වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න. ඔහු රිවර්ස් ස්වීප් පහරක් එල්ල කරන්න පුළුවන් කියලා මම හිතාගෙන හිටියා. වාසනාවකට මට ඒ උඩපන්දුව රැක ගන්න පුලුවන් වුණා” යැයි නිශ්ශංක වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී පැතුම් නිශ්ශංක පැවසු අදහස් පහත දැක්වේ.

ප්‍රශ්නය – මීට කලින් තරගවල දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම සිම්බාබ්වේට සහ ඉන්දියාවට ලබා දුන්නත් කාසියේ වාසිය දිනු කණ්ඩායම් පරාජය වුවා. මෙවර ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ඕස්ට්‍රේලියාවට පන්දුවට පහරදීමට අවස්ථාව දී ජය ලැබුවා. එයට හේතුන් මොනවා ද? ඔවුන් එම තීරණ ගත්තේ තණතිල්ල පිළිබඳව වැරැදි අවබෝධයකින් ද?

උත්තරය – පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ මේ තණතිල්ලේ අපි මීට කලින් ක්‍රීඩා කර තිබෙන සුපුරුදු තණතිල්ලක්. මුලින් පන්දු රැකීමත් පසුව පන්දුවට පහරදීමටත් අප ගත්ත තීරණය නිවැරැදියි. එයින් අපි සාර්ථක වුවා.

ප්‍රශ්නය – මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකයත් ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි විස්ස තරගාවලියන් හී ශතක දෙකක් ලබාගත් පිතිකරු ලෙස ඔබ පත්ව සිටීම ගැන දරන්නේ කුමන ආකල්පයක් ද?

උත්තරය – ලෝක කුසලාන තරගාවලියක දී ශතකයක් රැස් කිරීමට මගේ ඉලක්කයක් තිබුණා. ඕස්ට්‍රේලියාව සමග මෙහිදී එය සාර්ථක කර ගැනීමට ලැබීම ගැන සතුටු වනවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාව පන්දු රකින අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රබල පිතිකරු ග්ලෙන් මැක්ස්වල්ගේ උඩපන්දුවක් ඔබ අතින් ගිළිහි ගියා. ඒ පිළිබඳව ඔබ සිතන්නේ කුමක් ද?

උත්තරය – ඔව්, එම තීරණාත්මක උඩපන්දුව ගිළිහී යාම පිළිබඳව මා දුක් වුවා. ඒත් මා සිතා සිටියා මැක්ස්වල් රිවර්ස් ස්වීප් පහර එල්ල කර ලකුණු ලබා ගන්න උත්සාහ ගන්නා හෙයන් ඊළඟ උඩපන්දුව රැක ගැනීමට. මා එය හොඳින් ඉටු කිරීම ගැන සතුටුයි. ඒ වගේම කලින් කී උඩපන්දුව ගිළිහුණු අවස්ථාවේ මා තීරණය කළා අද මා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශේෂ යමක් ඉටු කළ යුතුයි කියලා. එයත් ඉටු වීම ගැන සතුටට පත්වනවා.

ප්‍රශ්නය – ඔබ සිතනවා ද ඕස්ට්‍රේලියාව අද කලින් පන්දුවට පහර දුන් ආකාරය අනුව පසුව රැස් කළ ලකුණු 181ක සංඛ්‍යාව ප්‍රමාණවත් කියලා?

උත්තරය – අප සිතුවේ ඔවුන් මුලින් පන්දුවට පහර දුන් ආකාරය අනුව ලකුණු 200 – 220ක් ලබා ගනීවී කියලයි. එහෙත් ඔවුන්ව ලකුණු 181කට සීමා කර ගැනීමට ලැබීම ගැන සතුටට පත්වනවා.

ප්‍රශ්නය – ජයග්‍රහණ ඉලක්කය කරායද්දී ඔබලා සතු වු සැළැසුම කුමක් ද?

උත්තරය – අපගේ කඩුල්ලක් කලින් දැවී ගියත් දෙවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ මා සැළසුම් කර නිතර සාකච්ඡා කර ගත්තේ පවර් ප්ලේ පන්දුවාර හයට හොඳින් මුහුණ දී පසුව පන්දුවාර 12ක් යනතුරු එලෙස එය පවත්වාගෙන ගොස් ඉන්පසුවත් එක් අයෙකු වේගයෙන් පන්දුවට පහරදිය යුතුය කියලයි. ඒ සියල්ල එලෙසම ඉටු වුවා. එලෙසම එය ඉටු කිරීමට කුසල් මෙන්ඩිස්ගෙන් මට ලැබුණු සහාය විශිෂ්ටයි. ඔහු මුලින් පන්දුවට පහර දුන් ආකාරය අනුව මට පන්දුවට පහරදීම පහසු වුවා. අප මෙලෙස පන්දුවට පහර දුන්නේ ඉදිරියේ දී (රාත්‍රී) පින්න පතිත වන හෙයින් එයිනුත් ප්‍රයෝජනයක් ගැනීමේ අපේක්ෂාවෙනුයි.

ප්‍රශ්නය – ඔබ එල්ල කරපු පහරවලින් වඩාත්ම ප්‍රියජනක පහර කුමක් ද?

උත්තරය – වමත් දඟපන්දු යවන්නන්ට එල්ල කළ රිවර්ස් ස්වීප් පහරයි.

ප්‍රශ්නය – ශතකය රැස් කළ අවස්ථාවේ ඔබ ඇඟිල්ල මුවට තබා නිෂ්ශබ්දවන්න යැයි ප්‍රේක්ෂකයන්ට කීවේ කුමන අරමුණකින් ද?

උත්තරය – (සිනහ වෙමින්) මා එය සිදු කළේ කිසිවෙකු එල්ල කර නොවෙයි. එය සාර්ථක වු අවස්ථාවන්හි මා විසින් සිදු කරන උද්වේගකාරී සිදු වීමක් පමණයි.

ප්‍රශ්නය – පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පැමිණි අතිවිශාල ජනකායකගෙන් ලැබුණු සහාය පිළිබඳව ඔබ සිතන්නේ කුමක් ද?

උත්තරය – පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පැමිණි අතිවිශාල ජනකාය අපට ලබා දුන් සහාය අප සියල්ලෝම ඉතාමත් අගය කරනවා. සැමදා අපව ධෛර්යයමත් කරන මේ ප්‍රේක්ෂකයන් ඉදිරියේදීත් මෙලෙසම පැමිණ අපට සහාය දක්වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee