slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2026
“පෙරළිකාරී කණ්ඩායමක් ගොඩනගනවා” – ජෙමී සිඩ්න්ස්ගේ විශ්වාසය

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී පෙරළිකාරී බලවේගයක් බවට පත් කිරීම තම ප්‍රධාන ඉලක්කය බව නව ප්‍රධාන පුහුණුකරු ජෙමී සිඩ්න්ස්ගේ මහතා ප්‍රකාශ කළේය.

කාන්තා ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු, මේ මාසයේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි20 සහ එක්දින තරගාවලි, ලෝක කුසලානයට පෙර කණ්ඩායම සූදානම් කිරීම සඳහා අත්‍යවශ්‍ය පෙරහුරු අවස්ථාවක් බවද අවධාරණය කළේය.

“ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු ස්වභාවික දක්ෂතා ඉහළ මට්ටමකට ගෙන යාමයි මගේ ප්‍රධාන අරමුණ. අප සතුව දක්ෂ ක්‍රීඩිකාවන් සමූහයක් මෙන්ම කැපවූ සහය කාර්ය මණ්ඩලයක් ද තිබෙනවා. නිසි පුහුණුව සහ ශික්ෂණය සමඟ අපට සාර්ථක ගමනක් යා හැකි බව මට විශ්වාසයි,” යැයි සිඩ්න්ස් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බංග්ලාදේශයට එරෙහි ඉදිරි තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය සඳහා සුදුසුම සංයුතිය තෝරා ගැනීමට මහත් වාසිදායක වන බවයි.

එමෙන්ම කණ්ඩායමේ අනාගතය පිළිබඳවද අවධානය යොමු කළ ඔහු, නායිකා චමරි අතපත්තු තවත් කාලයක් කණ්ඩායමට සේවය කරනු ඇතැයි විශ්වාසය පළ කළ අතර, ඇය නොමැති අනාගතයක් සදහාද සැලසුම් කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

“චමරි වැනි ක්‍රීඩිකාවක් කණ්ඩායමේ නැතිවූ දිනක එම හිඟය පුරවා ගැනීම විශාල අභියෝගයක්. ඒ නිසාම අපට නව ක්‍රීඩිකාවන් සංවර්ධනය කරමින් ඉදිරියට යාමට සිදුවෙනවා,” යැයි ඔහු පැවසීය.

තරග ජයග්‍රහණ සඳහා වේගවත් ලකුණු රැස් කිරීමේ වැදගත්කමද සිඩ්න්ස් මහතා විශේෂයෙන් ඉස්මතු කළේය.

“අපේ කණ්ඩායමට ජයග්‍රහණ අඩුවෙන්නේ හතරේ සහ හයේ පහරවල් අඩුවෙන විටයි. කාන්තා ක්‍රිකට් තුළ වේගවත් ලකුණු රැස් කිරීම ඉතා වැදගත්. එම හැකියාව ඇති වුවහොත් තරග ජයගැනීම අපහසු නොවේ,” යැයි ඔහු අවධාරණය කළේය.

පන්දු යැවීමේ අංශය පිළිබඳවද අදහස් දැක්වූ ඔහු, එකම රටාවකට සීමා නොවී විවිධත්වය සහ තාක්ෂණික ව්‍යාප්තිය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

“එකම ආකාරයේ දඟ පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන් පාලනය කළ නොහැක. සියලු අංශවලින් සම්පූර්ණ කණ්ඩායමක් ලෙස සූදානම් වීම අපගේ ප්‍රමුඛතාවය විය යුතුයි,” යැයි සිඩ්න්ස් මහතා සඳහන් කළේය.

ඉදිරියේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නව ආකාරයකින් ගොඩනැගීම සඳහා සකස් කර ඇති මෙම සැලසුම්, කණ්ඩායමට ජාත්‍යන්තර වේදිකාවේ වඩාත් ප්‍රබල ඉදිරියක් සකසා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන සිඩ්න්ස් මහතා ක්‍රීඩකයෙකු ලෙසද සැලකිය යුතු අත්දැකීම් රැසක් ලබා ඇති අතර, 1988දී ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇත. එමෙන්ම South Australia හා Victoria ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කරමින් ද දිගු කාලයක් ක්‍රීඩා කළේය.

එමෙන්ම, රංජන් මඩුගල්ලේ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම 1988දී ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ අවස්ථාවේදී, වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ සිඩ්න්ස් මහතා සිව්දින තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වූයේය.

ක්‍රීඩා දිවියෙන් පසුව පුහුණුකරණ ක්ෂේත්‍රයට පිවිසි ඔහු, 2007 සිට 2012 දක්වා බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ අතර, පසුව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත කණ්ඩායමද පුහුණු කළේය. අනතුරුව ඔහු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හිටපු පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගත්තේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee