බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 21 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස අද (30 දා) ජය වාර්තා කළහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් විය. ඉනිම ගොඩනැගීමට ප්‍රධාන දායකත්වය ලබා දුන් පිතිකාරිණියන් අතර හර්ෂිතා සමරවික්‍රම ඉදිරියෙන්ම පසුවූවාය. ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ හර්ෂිතා ලකුණු 49 ක් ලබා ගනිද්දී නායිකා චමරි අතපත්තු (42), ඉමේෂා දුලානි (27) නිලක්ෂ ද සිල්වා (22*) එක්ව ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.
සමරවික්‍රම පන්දු 29 කින් තම ලකුණු 49 ලබා ගත්තේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් එල්ල කරමිනි. මෙම ඉනිම ප්‍රධාන කොට ඇයට මෙම තරගයේදී දක්ෂතම ක්‍රීඩිකාවගේ සම්මානය හිමිවූවාය.
ඉනිම ආරම්භයේදී ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීමේ වේගය එතරම් සුබදායක නොවූයේ පවර්ප්ලේ ඕවර 6 තුළ ලකුණු 35ක් පමණක් ලබා ගැනීම හේතුවෙනි. කෙසේ වෙතත්, මැද ඕවරවලදී ලකුණු 69ක්ද, අවසන් ඕවර 4දී ලකුණු 50ක්ද රැස් කරමින් ශ්‍රී ලංකා පිතිකාරිණියෝ ලකුණු 150 සීමාව ඉක්මවා යාමට සමත් වූහ.
ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට අවශ්‍ය වේගය පවත්වා ගැනීමට නොහැකි විය. ඔවුන් නියමිත ඕවර 20 අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 133ක් පමණක් ලබා ගත්තේය.
බංග්ලාදේශ ඉනිම ඇරැඹි ඩිලාරා අක්ටර් (23) සහ ජුවයිරියා රේඩරස් (29) සාර්ථක ආරම්භයක් ලබා දුන්නද මැද පන්දුවාරවලදී ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ යළි තරගයට අවතීර්ණ වූහ. පළමු පන්දුවාර 10 ඇතුළතදී ශ්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් රැක ගත හැකි මට්ටමේ වූ පහසුම උඩ පන්දු 3 ක් ගිලිහී ගියද, විශිෂ්ඨ මට්ටමේ දුවද්දී දවා ගැනීම් දෙකක් සහ ස්ටම්ප් කිරීමක් හේතුවෙන් තරගය තමන් වෙත හරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
පන්දු යැවීමේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කවීෂා දිල්හාරි පන්දුවාර 4 කදී ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් කඩුල 2 ක් දවා ගත්තාය. ඒ අතර ශ්‍රී ලංකාවට වැඩිම පීඩනයක් ගෙන දුන් පිතිකාරිණියක් වූ ඩිලාරා අක්ටර්ගේ කඩුල්ලද විය. ඇය නික්ම ගියද හුදෙකලා වුණු ශර්මින් අක්ටර් ලකුණු 44 ක් ලබා තරගය අහවර වන විටත් කඩුල්ල ආරක්ෂා කරගත්තද එය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙසින් වූ ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.
ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 154 යි – (චමරි අතපත්තු 42, ඉමේෂා දුලානි 27, හර්ෂිතා සමරවික්‍රම 49, නිලක්ෂිකා සිල්වා 22*)
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 133 යි – (ඩිලාරා අක්ටර් 23, ජුවයිරියා ෆර්ඩස් 29, ශර්මින් අක්ටර් 44*, ෂෝර්නා අක්තාර් 12, කවීෂා දිල්හාරි 15/2)






