slc
logo
Home   |    News
අප්‍රේල් 17, 2026
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අපරාජිතභාවය තවදුරටත් රැක ගනිති

sinhala editor

ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපේන් ඕවල් පිටියේදී අද (17) පැවැති විස්සයි–20 තරගයේදී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 35 කින් පරාජයට පත් කරමින් තම අපරාජිත ගමන තවදුරටත් ශක්තිමත් කරගත්හ. මෙම ජයග්‍රහණය, ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පමණක් නොව, ඔවුන් පසුපසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සැලසුම්ගත සංවර්ධන වැඩසටහන්වල සාර්ථකත්වය ද පැහැදිලිව ඉස්මතු කරයි.

චමුදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි–20 තරගාවලියේ තෙවැනි තරගයද ජයගනිමින් අපරාජිත එකම කණ්ඩායම ලෙස ඉදිරියට පවතී. මෙම තරගාවලිය යොවුන් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමේ අරමුණින් සංවිධානය කළද, ශ්‍රී ලංකා කණ්ඩායම එය තරගකාරීත්වයෙන් පිරුණු මට්ටමකට ගෙන ගොස් ඇත. මෙම තරගාවලියේ ශූරතාවයක් ප්‍රකාශයට පත් නොකළද, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තම ප්‍රභලතාවය පැහැදිලිව පෙන්නුම් කරමින් සිටී. ඔවුන් මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවද ජයගනිමින් දෙරට අතර යොවුන් විස්සයි–20 තරග ආකෘතියේ පිට පිටම 7 වැනි ජය වාර්තා කර තිබීමද විශේෂත්වයකි.

මෙම සාර්ථකත්වයේ මූලික ශක්තිය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන යොවුන් ක්‍රීඩිකාවන් සඳහා වූ පුහුණු වැඩසටහන්, ග්‍රාමීය මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා ක්‍රීඩිකාවන් හඳුනාගැනීම සහ නවීන පුහුණු පහසුකම් සැපයීමයි. විශේෂයෙන්ම කාන්තා ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරිපත් කර ඇති දිගුකාලීන සැලසුම්, මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ හරහා සාර්ථක ප්‍රතිඵල ලබා දෙමින් පවතියි.

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමේ නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට පන්දුවාර 16.3 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 69 ක් පමණි. ඒ අනුව මෙම තරගාවලිය යටතේ එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම හමුවේ ලද පිට පිටම දෙවැනි තරග පරාජය ලෙසින්ද අද තරගය සනිටුහන් විය.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක් එක් කිරීමට විමෝක්ෂා බාලසූරිය සහ සංජනා කාවින්දි සමත්විය. එහෙත් එම කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට එතරම් සාර්ථක සම්බන්ධතා ගොඩ නගා ගැනීමට නොහැකි විය.

අද දිනයේදී වැඩිම ලකුණු වාර්තා කර ගන්නා ලද්දේ ආරම්භක පිතිකාරිණී විමෝක්ෂා බාලසූරිය විසිනි. පන්දු 40 කට මුහුණ දුන් ඇය හතරේ පහර 4 ක් ද සමගින් ලකුණු 34 ක් රැස් කරගත්තේය. ඇයට අමතරව අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ සංජනා කාවින්දි පන්දු 33 කදී ලකුණු 26 ක් ලබා ගත්තේ හතරේ පහර 3 ක්ද එල්ල කරමිනි.

ඔවුන් දෙපළ හැරුණු කොට ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල වෙනුවෙන් ද්විත්ව ලකුණු සංඛ්‍යාවක් කරා ගිය එකම පිතිකාරිණිය වූයේ මැද පෙළ පිතිකාරිණී නෙත්මි උපේක්ෂා (16) පමණි.

පන්දු 120 කදී ලකුණු 105 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ හඹා යෑම අඩපණ කළ පන්දු යවන්නියන් අතර ලිමන්සා තිලකරත්න ඉදිරියන්ම පසුවූවාය. ඇය පන්දුවාර 2.3 කදී ලකුණු 12 2කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ කඩුලු 2 බැග්න්ද, දනෝද්‍යා සෙව්මිණී, චමුදි ප්‍ර බෝධා සහශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් ඔලිවර් (16) සහ පාටිල් (12) හැරුණු කොට එකම පිතිකාරිණියකටත් ලකුණු 10 සිමාව ඉක්මවා ලකුණු රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදීමට වග බලා ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායම බව තවදුරටත් තහවුරු කර ඇති අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩාවට ලබා දෙන නායකත්වය, ආයෝජනය සහ දිගුකාලීන දැක්ම සාර්ථකව ක්‍රියාත්මක වන බවට සාර්ථක උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදි කඩුලු 8 ක් දැවි ලකුණු 104 යි – (සංජනා කාවින්දි 26, විමෝක්ෂා බාලසූරිය 34, නෙත්මි උපේක්ෂා 16, වීරප්පුලි 06/2, බෙයාර්ස්ටෝ 15/3)

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 16.3 කදී සියලු දෙනා දැවී ලකුණු 69 යි – (ඔලිවර් 16, පටිල් 12, ලිමන්සා තිලකරත්න 12/3, අසේනි තලගුණේ 12/2, ප්‍රමුදි මෙත්සරා 11/2, දනෝද්‍යා සෙව්මිණී 11/1, චමුදි ප්‍ර බෝධා 12/1, ශෂිනි ගිම්හානි 08/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee