slc
logo
Home   |    News
මැයි 10, 2026
කවුද මේ ඉමේෂා දුලානි…? – “ක්‍රිකට් ගමට” වැඩසටහනෙන් ජාතික කණ්ඩායමට ආපු ‘රත්ගම‘ කෙල්ල

sinhala editor

අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි ඉමේෂා දුලානිගේ නම. ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ඇයගේ නම එක්වීමත් සමඟ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය තවත් වැඩියෙන් ඇය වෙත යොමු වෙලා තිබෙනවා.

හැබැයි මේ සාර්ථකත්වය එක රැයකින් ලැබුණු දෙයක් නම් නෙවෙයි. ඒ පිටිපස්සේ තියෙන්නේ ගමේ පොඩි දැරියකගේ හීනයක්, දිගු ඉවසීමක්, කැපවීමක් සහ “ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට” වැඩසටහන හරහා ලැබුණු අවස්ථාවන්ගේ ගමනක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කරන “ක්‍රිකට් ගමට” වැඩසටහනේ අරමුණ වන්නේ නගර සීමාවෙන් පිටත දක්ෂතා සොයාගෙන ඔවුන්ට වෘත්තීය මට්ටමේ ක්‍රිකට් අවස්ථා ලබාදීමයි. ග්‍රාමීය පාසල් සහ ප්‍රදේශවල සැඟවුණු දක්ෂතා ජාතික මට්ටමට ගෙන ඒම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්. ඉමේෂා දුලානි කියන්නේ ඒ වැඩසටහනේ සාර්ථකම උදාහරණයක් ලෙස අද හඳුන්වන්න පුළුවන් ක්‍රීඩිකාවක්.

ගාල්ල රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට ආපු ඉමේෂා මුලින්ම ක්‍රිකට්වලට ආස වෙන්නේ තම අක්කා ක්‍රිකට් ගහනවා දැකලා. පාසලේ 8 වැනි ශ්‍රේණියේදී ක්‍රිකට් පටන් ගත් ඇය මුලින්ම ක්‍රීඩා කළේ සැහැල්ලු පන්දු ක්‍රිකට්. පසුව ක්‍රමයෙන් ලෙදර් පන්දු භාවිතයට පැමිණිලා පාසලේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සමත්වෙනවා. ඉමේෂා කියන්නේ නම් ඒ කාලෙ ඇයට කණ්ඩායමේ ස්ථීර තැනක් තිබුණේ නෑ කියලා. පාසලේ පුහුණුකරු වෙන මහේෂ් සඳරුවන් මහතාගේ ගුරුහරුකම් ද තමන් දැන් පැමිණ සිටින තැනට බෙහෙවින් ඉවහල් වූ බවද ඉමේෂා සදහන් කර සිටියි.  

කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට තිබූ ස්ථිර අධිෂ්ඨානය හේතුවෙන්, ඇය “ගුණ ජය සතුට” පදනම යටතේ සීනිගම ක්‍රිකට් සමාජයට එක්ව ක්‍රීඩා කරනු ලැබුවා. එහිදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන දිස්ත්‍රික් තරගාවලිවලටත්, පසුව පළාත් තරගාවලි යටතේ දකුණු පළාත් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීම සඳහා ඇයට අවස්ථාව ලැබිණි. එම තරගාවලිතුළදී ඇය දැක්වූ දක්ෂතා මගින් ජාතික තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට ඇයට හැකි විය. මේ වනවිට ඇය හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරයි.

සිම්බාබ්වේ පැවැති අයි.සී.සී. සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ජාතික කණ්ඩායම තේරීම වෙනුවෙන් තිබුණු තෝරා ගැනීමේ තරග වලදී දක්වපු දක්ෂතා නිසා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම උදාවුණා කියලා තමයි ඉමේෂා විශ්වාස කරන්නේ. එම තරගාවලියේදී ඇය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට නියමිතව සිටියත් කොවිඩි ගැටලුවක් නිසා එම තරගය පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නෑ. ඒ නිසා ඇයට ඊළඟ තරගාවලිය, හෙවත් බංග්ලාදේශයට එරෙහි තරගාවලිය තෙක් තම මංගල තරගයට සහභාගිවීමට බලාගෙන සිටීමට සිදුවුණා.

හැබැයි ජාත්‍යන්තර වරම් ලැබුණා කියලා ඇයට හැමදේම ලේසියෙන් ලැබුණේ නැහැ කියලා තමයි ඉමේෂා කියන්නේ. ඉමේෂාගේ ක්‍රිකට් ජීවිත හරියට බැලුවොත් ලොකු කාලයක් නෑ. ඒ කාලයේ වැඩි කොටසක් ඇය ගත කළේ සංචිතයේ ඉඳලා එහෙමත් නැත්නම් බංකුවේ ඉඳලා අවස්ථාවක් ලැබෙනකම් බලාගෙන.

ඒත් හැමදේම වෙනස් වුණේ 2025දී ඉන්දියාව සමඟ ඉන්දියාවේ පැවති විස්සයි20 තරගාවලියෙන්. ශ්‍රී ලංකාව තරගාවලිය 5-0ක් ලෙස පරාජය වුණත් තුන්වැනි තරගයේදී ඉමේෂාව කණ්ඩායමට කැඳවීම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.

ලැබුණු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඇය, පස්වැනි තරගයේදී ඉන්දියාවට එරෙහිව තමන්ගේ පළමු ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළාය. ඒ සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අඩුම විස්සයි20 ඉනිම් ගණනකදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද ක්‍රීඩිකාව ලෙසත් ඇය වාර්තා පොතට එක්වුණා.

අද වෙද්දී ඉමේෂා කියන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදිය හැකි, නවීන ක්‍රිකට් රටාවට ගැළපෙන පිතිකාරිනියක්. මේ වන විට ඇය පන්දුවට පහර දෙන තාක්ෂණය, නැත්නම් පහර තේරීම, ප්‍රහාරාත්මක මානසිකත්වය සහ ක්‍රීඩා තත්ත්වයන්ට අනුගතවීම වැනි අංශවලදී ඇය විශේෂ දක්ෂතාවයක් පෙන්වන බවමේ වන විටත් ඇය පසක් කොට අවසන්.

ගමකින් පටන් ගත් හීනයක් අද ICC සම්මාන වේදිකාවටත් ළඟා වෙලා. ඒ නිසාම “ක්‍රිකට් ගමට” වැඩසටහනෙන් බිහි වූ දක්ෂතම ක්‍රීඩිකාවන්ගෙන් එක් අයෙක් ලෙස ඉමේෂා දුලානි අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතයේ විශාල බලාපොරොත්තුවක් බවට පත්ව තිබෙනවා.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar