slc
logo
Home   |    News
මැයි 9, 2026
දඟ පන්දු සාම්ප්‍රදායට අභියෝග කළ කවිඳු සහ චමෝද්

sinhala editor

මෙවර නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය තවත් සුවිශේෂීතාවක් එක් කරගත්තේ, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමත් වීමත් සමඟින්. ගතවූ වසර ගණනාවක් පුරා මෙවැනි ආකෘතීන්හි දේශීය තරගාවලිවල වැඩිම කඩුලු ලාභීන් ලෙස බොහෝවිට ඉදිරියට පැමිණියේ දඟ පන්දු යවන්නන් බව නොරහසක්. ශ්‍රී ලංකාවේ තණතීරු ස්වභාවයත්, දතරගවල දී දඟ පන්දුවට ලැබෙන සහායත් එයට ප්‍රධාන හේතු බවට පත්ව තිබුණා.

නමුත් මෙවර NSL තරගාවලිය ඒ සාම්ප්‍රදායික රටාවට වෙනස්ම කතාවක් ලියුවා. දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ කවිඳු පතිරත්න සහ කොළඹ කණ්ඩායමේ චමොද් බට්ටගේ, තම වේග පන්දු යැවීමෙන් තරගාවලිය පුරාම ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගාවලියේ කැපී පෙනෙනම පන්දු යවන්නන් දෙදෙනා බවට පත්වුණා.

කවිඳු පතිරත්න කඩුලු 17ක් දවා ගනිමින් දඹුල්ල කණ්ඩායමේ ශූරතා ගමනේ ප්‍රධාන බලවේගයක් බවට පත්වූ අතර, චමොද් බට්ටගේ ද තීරණාත්මක අවස්ථාවල දැක්වූ පන්දු යැවීමත් සමඟින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය දිනාගත්තා.

මෙය සංඛ්‍යා ලේඛනවලින් පමණක් මනින දක්ෂතාවයක් නොවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ “දඟ පන්දු යවන්නන්ගේ රජදහනක්“ ය ලෙස පැවති මතයට අභියෝගයක් එල්ල කළ තරගාවලියක් ලෙසත් මෙවර NSL තරගාවලිය හඳුන්වන්න පුළුවන්.

විශේෂයෙන්ම නව පන්දුවෙන් පීඩනය ගොඩනැගීම, මැද පෙළ බිඳ දැමීම සහ පැරණි පන්දුවෙන් ද ප්‍රතිඵල ලබාගැනීම වැනි අංශවල දී කවිඳු සහ බට්ටගේ දෙදෙනාම දැක්වූ දක්ෂතා, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට වැදගත් සංඥාවක් ලෙස සැලකිය හැකියි.

එම නිසා මෙවර NSL තරගාවලිය හුදෙක් ශූරතාවක් තීරණය කළ තරගාවලියක් පමණක් නොවෙයි. ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තුළ වේග පන්දු යවන්නන් නැවතත් ප්‍රධාන සංවාදයකට රැගෙන ආ තරගාවලියක් ලෙසත් එය හඳුන්වන්නට පුලුවන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee