slc
logo
Home   |    News
මැයි 3, 2026
නැෂනල් සුපර් ලීග් පස්වැන්නේ ශූරතාව සොයා දඹුල්ල සහ කොළඹ හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියරයෙහි අවසන් මහා තරගය හෙට (4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී ආරම්භ වේ. මෙම තරගය ලබන බ්‍රහස්පතින්දා (07) වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල හා චරිත් අසලංක නායකත්වය දරණ ‍කොළඹ පිල මෙම අවසන් සටනට පිවිස සිටිති. තවමත් ශූරතාවක් දිනා නැති කොළඹ පිල ශූරතාව සොයා පිටියට පිවිසෙද්දී, පසුගියවර අනුශූර දඹුල්ල පිල මෙවර ශූරතාව පිළිබඳ විශාල බලාපොරොත්තු රඳවා ඇති හෙයින් තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ ලකුණු 35. 94ක් ලබා පෙරමුණට පැමිණීමට දඹුල්ල කණ්ඩායම සමත්වූ අතර, දෙවැනි තැනට කොළඹ පිල පත්වූ පත්වූයේ ලකුණු 19. 168කිනි. මෙවර තරගාවලියේ එකම ජයග්‍රහණය වාර්තා කළ දඹුල්ල පිල ඉනිමකින් හා ලකුණු 41කින් ගාල්ල පරාජය කළ අතර, කොළඹ පිල සහභාගිවූ තරග තුනම ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. දඹුල්ල හා කොළඹ මූලික වටයේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හමුවී එම තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් විය.

මෙවර තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු දඹූල්ල පිල (ලකුණු 488) වාර්තා කළ අතර, කොළඹ පිල ඉනිමකදී කඩුලු 9කට ලකුණු 434ක් ලබා සිටී. දඹුල්ල පිලේ අංජල බණ්ඩාර තරග 3කදී ශතකයක් හා අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 293ක් ලබා සිටින අතර, ජනිත් ලියනගේ තරග 3කදී ශතකයක් හා අර්ධ ශතකයක් සමඟ 280ක් ලබා සිටී. පන්දු යැවීමේදී දඹුල්ල පිලේ කවිඳු පතිරත්න කඩුලු 11ක් හා කොළඹ පිලේ චමෝද් බැට්ටගේ කඩුලු 9ක් ගෙන පෙරමුණේ පසුවෙති.

අද පැවැති කුසලාන එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ කොළඹ නායක චරිත් අසලංක ප්‍රකාශ කළේ තම කණ්ඩායම හොඳ සූදානමකින් අවසන් සටනට පිවිසෙන බවයි. ශූරතාවයක් තවමත් නොලැබූ කොළඹ පිලට මෙය වැදගත් අවස්ථාවක් බව ඔහු සඳහන් කළ අතර, තරුණ ක්‍රීඩකයින්ට මෙවැනි තරගාවලි ජාතික තලයට උසස් වීමට හොඳ වේදිකාවක් බවද ඔහු අවධාරණය කළේය.

“කොළඹ පිල තවමත් අවසන් මහා තරගයක් දිනලා නෑ. ඒ නිසා හොඳ අවස්ථාවක් තියෙනවා මේ තරගය දිනන්න. ‍හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා. ජනිත් ලියනගේ ලකුණු අතර ඉන්නවා. චමෝද් බැට්ටගේ කඩුලු වැඩියෙන්ම දවාගෙන ති‍යෙනවා. මේ සිව්දින තරගාවලිය තරුණයින්ට හොඳ අවස්ථාවක්. පසුගිය තරගවලදී අපි දැක්කා ඔවුන් ඉදිරියට එන හැටි. අපි බලාපොරොත්තු වෙන්නේත් ඒ දෙයමයි. මෙවැනි තරගාවලි තුලින් ජාතික තලයට ක්‍රීඩකයින් රැගෙන ඒමට වැඩි අවස්ථාවක් තියෙනවා“ නායක චරිත් අසලංක පැවැසීය.

දඹුල්ල නායක ධනංජය ද සිල්වා පැවසුවේ පසුගිය වසරේ අනුශූරතාවයෙන් සීමා වූ දඹුල්ල පිල මෙවර එම අඩුව පිරවීමට සූදානම් බවයි. කණ්ඩායමේ ක්‍රීඩකයින් අලුත් ආකාරයකින් දස්කම් දක්වමින් සිටින බවත්, විශේෂයෙන් අංජල බණ්ඩාර හා කවිඳු පතිරත්න වැනි ක්‍රීඩකයින්ගේ දායකත්වය කණ්ඩායමට ශක්තියක් වී ඇති බවත් ඔහු පැවසීය.

“අපි ගියවර අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්න සිඳු වුණා. ඒ වැරද්ද නිවැරදි කරගෙන අපි ඉදිරියට යා යුතුයි. පසුගිය සති කිහිපයේ හොදින් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ඉන්නවා. ලකුණු අතර අංජල බණ්ඩාර හා කඩුලු අතරින් කවිඳු පතිරත්න හොඳින් දස්කම් දැක්වූවා. 19න් පහළ ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කළ අය ඉන්නවා. ඉදිරි‍යේදී දක්ෂ ක්‍රීඩකයින් සොයාගත හැකියි“ ධනංජය ද සිල්වා පැවැසීය.

අවසන් වතාවට පැවැති සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්වූයේ දඹුල්ල කණ්ඩායම පරාජයට පත් කරමිනි.

මෙම තරඟය සජීවීව විකාශය කෙරෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව සහ Talent TV OTT වේදිකාව (www.talenttv.lk) මඟින් අන්තර්ජාලය ඔස්සේ නරඹා හැකිය. තවද, TV SUPREME නාලිකාව මඟින්ද මෙම තරගය සජීවීව නැරඹිය හැක.

කොළඹ කණ්ඩායම – චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, රවිඳු රසාන්ත, කවීජ ගමගේ (19 න් පහළ), ධනංජය ලක්ෂාන්, රනේෂ් සිල්වා, ජනිත් ලියනගේ, ශාරුජන් ශන්මුගනාතන්, කවිශ්ක අංජුල, දුෂාන් හේමන්ත, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, කසුන් රජිත, ප්‍ර මෝද් මදුෂාන්, නිපුන් ප්‍රේමරත්න, චමෝද් බට්ටගේ, තරිඳු අමරසිංහ, සෙත්මික සෙනෙවිරත්න (19 න් පහළ), සංදීප පෙරේරා, දුවිඳු තිලකරත්න, නුවනිිඳු ප්‍රනාන්දු

දඹුල්ල කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), ලසිත් කෘෘස්පුල්ලේ, නිශාන් මදුෂ්ක, තනුක දාබරේ, සහන් කෝසල, කවීන් බණ්ඩාර, අක්‍රරම් මුතාලිබ්, අංජල බණ්ඩාර, විශාද් රන්දික, රවීන් ද සිල්වා, ළහිරු සමරකෝන්, ශක්ති උදාර, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ධනුජ ඉඳුවර, කවිඳු පතිරත්න, චමිඳු වික්‍රමසිංහ, දසුන් ශානක, හිමාල් රවිහංස (19 න් පහළ), පවන් රත්නායක, සොනාල් දිනූෂ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee