slc
logo
Home   |    News
මැයි 29, 2026
LPL හයවැන්නේ ක්‍රීඩක තේරීමට 421ක්

sinhala editor

ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) ජුනි මස 01 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ක්‍රීඩක කෙටුම්පත සඳහා සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු ඇතුළත් වන අතර, එයින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 242 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර ජාතික කණ්ඩායම් ක්‍රීඩකයින්, දේශීය ක්‍රිකට් තරගාවලි නියෝජනය කරන ක්‍රීඩකයින් මෙන්ම නැගී එන තරුණ ක්‍රීඩකයින් ද ඇතුළත් වන අතර, ඔවුන් සියලුදෙනාටම කෙටුම්පත් කිරීමේදී කණ්ඩායම් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙවර කෙටුම්පත Platinum, Gold, Classic, Emerging සහ Associate Stars යන ප්‍රධාන කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වේ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සඳහා Platinum කාණ්ඩයේ ක්‍රීඩකයින් 17 දෙනෙකු, Gold කාණ්ඩයේ ක්‍රීඩකයින් 34 දෙනෙකු, Classic කාණ්ඩයේ ක්‍රීඩකයින් 80 දෙනෙකු සහ Emerging කාණ්ඩයේ ක්‍රීඩකයින් 48 දෙනෙකු ඇතුළත් කර ඇත.

විදේශීය ක්‍රීඩකයින් සඳහා Platinum කාණ්ඩයේ ක්‍රීඩකයින් 31 දෙනෙකු, Gold කාණ්ඩයේ ක්‍රීඩකයින් 64 දෙනෙකු, Classic කාණ්ඩයේ ක්‍රීඩකයින් 99 දෙනෙකු සහ Associate Stars කාණ්ඩයේ ක්‍රීඩකයින් 48 දෙනෙකු ඇතුළත් කර තිබේ.

මෙම ක්‍රීඩක කෙටුම්පත පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර, සියලුම ෆ්‍රැන්චයිස් හිමිකරුවන්, කණ්ඩායම් කළමනාකාරීත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් එම අවස්ථාවට එක්වීමට නියමිතය.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී වනු ඇත.

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වී අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee