slc
logo
Home   |    News
ජූනි 16, 2026
අවසන් මොහොතේ කොදෙව් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව පරාජයට

sinhala editor

ජැමෙයිකාවේදී ඉරිදා රාත්‍රියේ පැවැති තුන්වැනි හා අවසන් විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව විසින් ලබාදුන් ලකුණු 170 ක ඉලක්කය හඹාගිය කොදෙව්වෝ අවසන් ඕවරයේදී ජයග්‍රහණය තහවුරු කළහ.

තරගයේ වැඩි කොටසක් පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ පාලනය තමන් සතු කරගෙන සිටියහ. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා හේතුවෙන් කොදෙව් පිල දැඩි පීඩනයකට ලක්විය. ඉනිමේ 16 වැනි ඕවරය අවසන් වන විට කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා පන්දු 24 කින් ලකුණු 60 ක් අවශ්‍යව තිබූ අතර, එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණයට සමීපව සිටියේය.

කෙසේ වෙතත්, අවසන් ඕවර කිහිපය තුළදී තරගයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් විය. දුෂ්මන්ත චමීරගේ ඕවරවලට ප්‍රහාරාත්මකව මුහුණ දුන් රෝමන් පවෙල්, ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ ජේසන් හෝල්ඩර් වේගයෙන් ලකුණු රැස් කළහ. විශේෂයෙන්ම ඉනිමේ 19 වැනි ඕවරයේදී හෝල්ඩර් එල්ල කළ හයේ පහර තුන තරගයේ තීරණාත්මක අවස්ථාව බවට පත්විය.

18 වැනි ඕවරය අවසන් වන විට කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා පන්දු 12 කින් ලකුණු 29 ක් අවශ්‍යව තිබූ අතර, චමීරගේ ඊළඟ පන්දු හතරෙන් හෝල්ඩර් හයේ පහර තුනක් එල්ල කරමින් පීඩනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වෙත හරවා යැවීය. ඒ අනුව අවසන් ඕවරයේදී අවශ්‍ය වූයේ ලකුණු 6 ක් පමණක් වූ අතර, දසුන් ශානකගේ ඕවරයේදී කොදෙව්වෝ එම ඉලක්කය සාර්ථකව සපුරා ගත්හ.

කොදෙව් ජයග්‍රහණයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ රෝමන් පවෙල් අතර පස්වැනි කඩුල්ල සඳහා ගොඩනැගුණු ලකුණු 81 ක සම්බන්ධතාවයයි. පන්දු 53 කින් ගොඩනැගුණු එම සබඳතාව කොදෙව් ඉනිම නැවත ගොඩනැංවීමට මෙන්ම අවසන් මොහොතේ ප්‍රහාරය සඳහා පදනමක් සකස් කිරීමටද උපකාරී විය. රදර්ෆර්ඩ් පන්දු 40 කින් ලකුණු 58 ක් රැස් කළ අතර, ඔහුගේ උඩපන්දු අවස්ථා දෙකක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් ගිළිහී යාමද තරගයේ ප්‍රතිඵලයට බලපෑ සාධකයක් විය.

ශ්‍රී ලංකා පන්දු යැවීම විශ්ලේෂණය කළ විට දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතාව කැපී පෙනුණි. ඔවුන් තිදෙනා එක්ව ඕවර 11 කදී ලකුණු 66 කට කඩුලු 4 ක් දවා ගත්හ. එහෙත් වේග පන්දු යවන්නන් වූ දුෂ්මන්ත චමීර සහ එෂාන් මාලිංග යැවූ ඕවර 8 කින් ලකුණු 94 ක් ලබාගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ. අවසන් ඕවරවලදී පෙන්වූ එම දුර්වලතාවය ශ්‍රී ලංකාවේ පරාජයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 169 යි – (දුනිත් වෙල්ලාලගේ 43, දසුන් ශානක 16, කමිදු මෙන්ඩිස් 20, වනිඳු හසරංග 21, පැතුම් නිස්සංක 26, කමිල් මිශාර 28, ශමාර් ජෝසප් 33/5)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 170 යි – ජේසන් හෝල්ඩර් 21*, ශර්නේ රදර්ෆර්ඩ් 54*, රෝමන් පවල් 33, ශිම්රන් හෙට්මයර් 32, බ්‍රෙන්ඩන් කිං 16, වනිඳු හසරංග 17/2, දුනිත් වෙල්ලලාලගේ 23/1, දුෂ්මන්ත චමීර 64/1, මහීෂ් තීක්ෂණ 26/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee