slc
logo
Home   |    News
ජූනි 26, 2026
කොදෙව් වේග පන්දු අභියෝගය මැද ධනංජයගෙන් අභීත ශතකයක්

sinhala editor

පන්දුවේ වේගය, ඒ හා සමාන ඉපිලීම මෙන්ම අදහාගත නොහැකි දෝලනය සමගින් ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නන් හමුවේ නොසැලී සිටි ධනංජය ද සිල්වා, නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් ලබාගන්නා ලද අගනා ශතකය හේතුවෙන් ඇන්ටිගුවාහි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ  (25 දා) රාත්‍රියේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.

නව පන්දුවෙන් උපරිම ප්‍රයෝජන ගත් කොදෙව් වේග පන්දු යවන්නෝ තරගයේ මුල් පැයේදීම ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට ඇද දැමූහ. තරගයේ පළමු පන්දුවාරයේදීම කේමාර් රෝච්ගේ පන්දුවකට පැතුම් නිස්සංක ෂෝට් ගේ කළාපයට උඩපන්දුවක් ලබාදී දැවී ගිය අතර, 10 වැනි පන්දුවාරයේදී අල්සාරි ජෝසප් පන්දු තුනක් තුළ නිශාන් මදුෂ්ක සහ කමිඳු මෙන්ඩිස් දවා ගනිමින් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 42ක් ලෙස දැඩි පීඩනයකට පත් කළේය.

එම අවස්ථාවේදී දිනේෂ් චන්දිමාල් සමඟ එක් වූ ධනංජය ඉනිම යළි ගොඩනැඟීමේ මෙහෙයුම ආරම්භ කළේය. චන්දිමාල් සිය සුපුරුදු ආක්‍රමණශීලී රිද්මයෙන් ලකුණු රැස් කරමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 68ක සබඳතාවක් ගොඩනැගුවද අර්ධ ශතකයෙන් අනතුරුව ෂමාර් ජෝසප්ගේ අතිවිශිෂ්ට යෝකර් පන්දුවකට දැවී ගියේය. එම පන්දුවාරයේදීම කුසල් මෙන්ඩිස් ද දෙවැනි ස්ලිප්හි උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකාව යළිත් කඩුලු 5ක් දැවී අසීරු තත්ත්වයකට ඇද වැටුණි.

ඒ මොහොතේ සිට පිතිහරඹයේ සම්පූර්ණ පාලනය සියතට ගත් ධනංජය, නවක ක්‍රීඩක සොනාල් දිනූෂ සමඟ හයවැනි කඩුල්ල සඳහා ලකුණු 99ක අගනා සබඳතාවක් ගොඩනඟමින් කොදෙව් පන්දු යවන්නව වෙහෙසට පත් කළහ. ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ දිනූෂ පන්දු 75කින් ලකුණු 43ක් රැස් කරමින් නායකයාට අනගි සහායක් ලබා දුන්නේය.

කොදෙව් වේග පන්දු යවන්නන් හමුවේ විශිෂ්ට පිතිහරඹයක් ප්‍රදර්ශනය කළ ධනංජය, දුර්වල පන්දු කිසිවක් අපතේ නොයවමින් කවර් කලාපය, පොයින්ට් කලාපය සහ ස්ක්වෙයාර් ලෙග් කලාපය ඔස්සේ පන්දුව හතරේ සීමාව සොයා යෑමට සැලැස්වූවේය. විශේෂයෙන්ම අල්සාරි ජෝසප්ගේ වේගවත් පන්දු කිහිපයක් ස්ක්වෙයාර් ලෙග් සහ පොයින්ට් කලාප හරහා එල්ල කළ පහරවල් ඔහුගේ විශ්වාසය මැනවින් පෙන්නුම් කළේය.

තේ පානයෙන් අනතුරුව පන්දු 150 කින් සිය 13 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළ ධනංජය, දැවී යන විට පන්දු 168කින් ලකුණු 120ක් රැස් කරගෙන ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්ව සිටියේය. . හතරේ පහර 12කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිම නිමා වූයේ ජස්ටින් ග්‍රීව්ස්ගේ පන්දුවක් මිඩ්විකට් කලාපයට යොමු කිරීමට උත්සාහ කිරීමේදී උඩපන්දුවක් ලබාදීමෙනි.

ඉනිමේ අවසන් අදියරේදී මිලාන් රත්නායක ද ආක්‍රමණශීලී ලකුණු 27ක් රැස් කරමින් හත්වැනි කඩුල්ල සඳහා ධනංජය සමඟ ලකුණු 64ක සබඳතාවක් ගොඩනඟා ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

කොදෙව් පන්දු යවන්නන් අතර ජස්ටින් ග්‍රීව්ස් ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිමින් වඩාත් සාර්ථක පන්දු යවන්නා වූ අතර කේමාර් රෝච්, අල්සාරි ජෝසප් සහ ෂමාර් ජෝසප් කඩුලු දෙක බැගින් බිඳ හෙළූහ. ඔවුන් තිදෙනාම දිනය පුරාම නිරන්තරයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝග එල්ල කළහ.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 308කට සීමා කිරීමෙන් අනතුරුව දිනය අවසන් වීමට පෙර එක් පන්දුවාරයක් පමණක් පිතිහරඹය සඳහා ලැබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී එය සාර්ථකව නිමා කළේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 71.5 කදී සියලු දෙනා දැවී ලකුණු 308 යි – (ධනංජය ද සිල්වා 120, දිනේෂ් චන්දිමාල් 54, නිශාන් මදුෂ්ක 23, පැතුම් නිස්සංක 02, කමිදු මෙන්ඩිස් 00, කුසල් මෙන්ඩිස් 00, සොනාල් දිනූෂ 43, මිලාන් රත්නායක 27, කසුන් රජිත 08, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 00, ජස්ටින් ග්‍රීව්ස් 39/3, ශමාර් ජෝසප් 79/2, අල්සාරි ජෝසප් 60/2, කෙමාර් රෝච් 32/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar