2013 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී සිය පළමු එක්දින ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 06 වැනිදා (ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 3.30 ට) සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පිටියට පිවිසෙයි. නව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ ලැබූ එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තරගාවලියේ 1-0ක පෙරමුණක් හිමි කර දී ඇති අතර, අද තරගය ජයගතහොත් තරගාවලියද තමන් සතු කර ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.
පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල තුන් ඉරියව්වෙන්ම අවශ්‍ය මොහොතේදී දක්ෂතා අතරට පිවිසියේය. නායක කුසල් මෙන්ඩිස් මැද පෙළේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් කණ්ඩායමේ ලකුණු වේගය ඉහළ නැංවූ අතර, අවසන් ඕවරවලදී ජනිත් ලියනගේ ලබාදුන් වටිනා දායකත්වය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
කෙසේ වෙතත්, අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ පවන් රත්නායකගේ මන්දගාමී ඉනිම ශ්‍රී ලංකා කඳවුරේ අවධානයට ලක්ව තිබේ. පසුගිය විස්සයි-20 ලෝක කුසලානයේදී කැපී පෙනුණු ඔහු පන්දු 38කින් ලකුණු 24ක් පමණක් රැස් කළ නමුත් මේ තරගයේදී ඔහුද සිය සුපුරුදු පිතිකරණයේ රිද්මයට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධානතම වීරයා වූයේ දුෂ්මන්ත චමීරය. ඔහුගේ වේගවත් හා ප්‍රතිවර්තන පන්දු යැවීම හමුවේ කොදෙව් පිතිකරුවන් දැඩි පීඩනයකට ලක් වූ අතර, කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ තීරණාත්මක බලවේගය බවට පත්විය. දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණද මැද පෙළ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූහ. විශේෂයෙන් තීක්ෂණ පළමු තරගයේදී ඕවරයකට ලකුණු 2.60ක ආර්ථික අනුපාතයක් පවත්වාගෙන යාම කැපී පෙනුණි.
අනෙක් අතට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පළමු තරගයේදී සාර්ථක ආරම්භයක් ලැබුණද එය ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට නොහැකි විය. ආරම්භක පිතිකරුවන් ලබාදුන් හොඳ පදනම මැද පෙළ විසින් ප්‍රයෝජනයට ගැනීමට අසමත් වූ අතර, ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ඔවුන්ගේ පිතිකරණය බිඳ වැටුණි.
කොදෙව් කණ්ඩායමේ රොස්ටන් චේස් පළමු තරගයේදී පන්දු යැවීමෙන් මෙන්ම පිතිකරණයෙන්ද දායකත්වයක් ලබාදුන් අතර, අද තරගයේදීද ඔහුගෙන් විශාල කාර්යභාරයක් බලාපොරොත්තු වේ. එමෙන්ම නායක ෂායි හෝප්ගේ අත්දැකීම් සහ ඉනිම ගොඩනැගීමේ හැකියාව කණ්ඩායමට අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.
සබීනා පාර්ක් තණතීරුව පළමු තරගයේදී පිතිකරුවන්ට සහ දඟ පන්දු යවන්නන්ට සමබර සහායක් ලබාදුන් අතර, අද තරගයේදීද එවැනිම තත්ත්වයක් අපේක්ෂා කෙරේ. රාත්‍රී කාලයේදී පිනි බලපෑමක් ඇතිවිය හැකි බැවින් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දු යැවීම තෝරා ගැනීමේ වැඩි ඉඩක් පවතී.
ශ්‍රී ලංකාවට තරගාවලිය ජයගැනීමේ අවස්ථාවක් හිමිව ඇති අතර, කොදෙව්වන්ට නම් තරගාවලිය ජීවමානව තබා ගැනීම සඳහා මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුය. එබැවින් අද තරගය දෙපිලටම ඉතා වැදගත් සහ උණුසුම් තරගයක් වනු ඇති බවට සැකයක් නැත.





