slc
logo
Home   |    News
ජූනි 6, 2026
ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සංගක්කාරගෙන් වටිනා උපදෙස්

sinhala editor

එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට සහ අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුනට ආශිර්වාද සහ උපදෙස් ලබාදීමේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිවර්තන කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූ අතර, එහි සාමාජිකයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන කුමාර් සංගක්කාර මහතා ද එක්ව සිටියේය. එහිදී ඔහු සිය ක්‍රිකට් දිවියේ අත්දැකීම් බෙදා ගනිමින් ක්‍රීඩිකාවන්ගේ මානසික ශක්තිය සහ විශ්වාසය ඉහළ නැංවීම සඳහා වටිනා උපදෙස් ද ලබා දුන්නේය.

සිය දේශනයේදී සංගක්කාර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිළිබඳව රටක් ලෙස ආඩම්බර විය යුතු බවයි. 2023 වසරේදී එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීම සහ 2024 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණ බව ඔහු සිහිපත් කළේය.

“අපේ කාන්තා කණ්ඩායම ගැන අපි බොහෝ ආඩම්බර විය යුතුයි. 2023 දී අපි එංගලන්තය එංගලන්තයේදීම පරාජය කළා. එය මීට පෙර සිදු නොවූ විශිෂ්ට ජයග්‍රහණයක්. 2024 දී අපි ආසියානු කුසලානය ජයග්‍රහණය කළා. එයත් විශිෂ්ට ජයග්‍රහණයක්. මගේ අදහස නම්, අපේ කාන්තා කණ්ඩායම ලෝකයේ ඕනෑම කණ්ඩායමක් සමඟ කරට කර තරග කළ හැකි කණ්ඩායමක් බවයි. ලෝකයේ හොඳම කණ්ඩායම් පවා අපි පරාජය කර තිබෙනවා. ඒ නිසා මේ සංචාරයට යන විට අපි කාටත් දෙවැනි නැහැ යන විශ්වාසය සිතේ තබාගත යුතුයි“,යැයි ඔහු පැවසීය

ක්‍රීඩාවේ සාර්ථකත්වයට මූලික වන්නේ හැකියාව බව පෙන්වා දුන් සංගක්කාර, ලෝක කුසලානය වැනි විශාල තරගාවලියකට එක්වන විට පැහැදිලි අරමුණක් සහ කණ්ඩායමක් ලෙස එකම දැක්මක් තිබීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. පුහුණුකරු, නායකත්වය සහ සමස්ත කණ්ඩායම එකම ඉලක්කයක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවත්, තමන්ගේ සහ සෙසු ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් පිළිබඳව දැඩි විශ්වාසයක් ගොඩනගා ගත යුතු බවත් ඔහු කියා සිටියේය.

“ක්‍රීඩාවේ ලොකුම වෙනස ඇති කරන්නේ හැකියාවයි. ඕනෑම ක්‍රීඩකයකු තෝරා ගැනීමේදී පළමුව සලකා බලන්නේ ඔහුගේ හෝ ඇයගේ හැකියාවයි. ඉන් අනතුරුව අනෙක් සියලු කරුණු එකතු වෙනවා. එබැවින් මෙවැනි සංචාරයකට යන විට තමන්ගේ අරමුණ කුමක්ද යන්න පැහැදිලිව හඳුනාගත යුතුයි. ඔබට පුහුණුකරුවෙක්, නායකයෙක් සහ නායකත්ව කණ්ඩායමක් සිටිනවා. ඒ සියලු දෙනාම එකම අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි“, යැයි සංගක්කාර මහතා පැවසීය.

එංගලන්තයේ තත්ත්වයන්ට ඉක්මනින් අනුගත වීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. තණතීරු ස්වභාවය, කාලගුණික තත්ත්වයන් සහ තරග පරිසරය හොඳින් අවබෝධ කරගෙන තමන්ගේ ශක්තීන් ඒ අනුව හැඩගස්වා ගැනීම ජයග්‍රහණයට මඟ පෙන්වන බව ඔහු සඳහන් කළේය.

මානසික පීඩනය හමුවේ ක්‍රීඩකයෙකු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද සංගක්කාර වටිනා උපදෙස් ලබා දුන්නේය. ක්‍රීඩාවේදී පීඩනය අනිවාර්යයෙන්ම ඇතිවන බව පැවසූ ඔහු, එවැනි අවස්ථාවලදී තරගයේ එම මොහොතේ කණ්ඩායමට අවශ්‍ය කාර්යය කුමක්ද යන්න කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පීඩනය අවම කරගත හැකි බව පෙන්වා දුන්නේය.

“පන්දු යවන්නෙක් නම් මේ මොහොතේ මට කළ යුතු දේ මොකක්ද, පිතිකරුවෙක් නම් මගේ කාර්යය මොකක්ද, පන්දු රකින්නෙක් නම් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය මොකක්ද කියලා හිතනවා නම් පීඩනය අඩු කරගෙන නිවැරදි තීරණ ගන්න පුළුවන්“, යැයි ඔහු කියා සිටියේය.

ක්‍රිකට් ක්‍රීඩාව අනවශ්‍ය ලෙස සංකීර්ණ කර නොගත යුතු බවත්, මූලික අරමුණ වන්නේ ප්‍රතිවාදියාට වඩා එක් ලකුණක් හෝ වැඩියෙන් ලබා ගැනීම හෝ ප්‍රතිවාදියා අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම බවත් ඔහු පැහැදිලි කළේය. එබැවින් තමන්ගේ සැලසුම් සහ අරමුණු පැහැදිලිව අවබෝධ කරගෙන ක්‍රියා කිරීම වැදගත් බව ද සංගක්කාර සඳහන් කළේය.

අවසානයේදී ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටියේ කිසිදු ගැටලුවක් හෝ සැකයක් සිත තුළ තබා නොගෙන අත්දැකීම් ඇති පුහුණුකරුවන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් විමසා දැනගැනීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන ක්‍රීඩාවේ සියලු අංශ ඉහළම මට්ටමක පවත්වා ගනිමින් ප්‍රතිවාදීන්ට අනුව නිවැරදි සැලසුම් සකස් කරන්නේ නම් විශාල ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි බව ද ඔහු අවධාරණය කළේය.

“ඔයාලා දැනටමත් රටට විශේෂ ආඩම්බරයක් ගෙනැවිත් දීලා තියෙනවා. ඒ දේ ඉදිරියටත් කරගෙන යයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා“ යැයි පැවසූ සංගක්කාර මහතා, ලෝක කුසලාන අභියෝගයට සූදානම් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ට සිය සුබපැතුම් ද එක් කළේය.

මෙම අවස්ථාවේදී සංගක්කාර මහතාට අමතරව පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න, ක්‍රිකට් කමිටු ප්‍රධානී සිදත් වෙත්තමුණි මෙන්ම එහි සාමාජික රොෂාන් මහානාම යන මහත්වරුද අදහස් දක්වා සිටියහ.

ඊට අමතරව මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස්, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ සහ තුෂිර රද්දැල්ල යන මහත්වරුන් සහ අවන්ති කොළඹගේ මහත්මිය  ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරී ඈෂ්ලී ද සිල්වා මහතා, කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ජෙමී සිඩන්ස් සහ ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සහ අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ද සහභාගිව සිටියහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee