අවසන් පන්දුවාරය දක්වාම දෝලනය වූ තියුණු සටනකින් අනතුරුව ස්කොට්ලන්තය කඩුලු 3කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සුළු හෝ බලාපොරොත්තුව ජීවමාන කර ගැනීමට ඊයේ (26) මැන්චෙස්ටර්හිදී සමත් විය. කෙසේ වෙතත් මෙම තරගයේ ජය ලැබුවද ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තු තවමත් ‘වෙනත් ’බී‘ කාණ්ඩය යටතේ පැවැත්වීමට නියමිත සෙසු තරගවල ප්‍රතිඵල මත රඳා පවතී. ඒ සඳහා එංගලන්තය නවසීලන්තය පරාජය කළ යුතු අතර අයර්ලන්තය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විශාල ලකුණු පරතරයකින් පරාජය කළ යුතුය.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් තරගය බවට පත්වූ මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්ද සනිටුහන් කරන ලද සිදුවීමක් බවට පත්වූයේ අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව තරග තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජයගත් පළමු අවස්ථාව ලෙස මෙම ජය වාර්තා අතරට එක්වීමයි.
ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් අවශ්‍යව තිබිණි. රේචල් ස්ලේටර් යැවූ එම පන්දුවාරයේ මුල් පන්දු තුනෙන් නිලක්ෂිකා සිල්වා සහ සුගන්දිකා කුමාරි ලකුණු 4ක් රැස් කළ අතර ඉන් අනතුරුව දණහිසේ ආබාධයකට ලක් වූ ස්ලේටර්ට පිටියෙන් ඉවත් වීමට සිදු විය.
ඉතිරි පන්දු තුන යැවීමට ප්‍රියානාස් චැටර්ජි කැඳවනු ලැබූ අතර සිව්වැනි පන්දුවෙන් ලකුණක් ලබාගත් ශ්‍රී ලංකාවට අවසන් පන්දු දෙකේදී ලකුණු 2ක් පමණක් අවශ්‍ය විය. එම අවස්ථාවේ නොසැලුණු සුගන්දිකා කුමාරි තර්ඩ්මෑන් කළාපය හරහා එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකාවට තරගයේ ජය හිමිවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර, පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 151ක් රැස් කළේය. එහිදී සාරා බ්‍රයිස් නොදැවී ලකුණු 47ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට සටන්කාමී ඉනිමක් ගොඩනැගුවාය.
පළමු පන්දුවාර හයේදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 45ක් රැස් කළ ස්කොට්ලන්තය වෙනුවෙන් කාටර් මුල් පන්දු 10 තුළම හතරේ පහර 4ක් එල්ල කළහ. එහෙත් අධිවේගී පන්දුවාර 6 අවසන් වීමත් සමඟ තරගයේ පාලනය යළි ශ්‍රී ලංකාව අතට හැරිණි. මිථාලි අයෝධ්‍යාගේ පන්දුවක් හමුවේ මිඩ් ඕෆ් කළාපයේ පන්දු රැකි නිලක්ෂිකා සිල්වා රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන් කැතරින් ෆ්‍රේසර් දැවී ගිය අතර, ඉන් අනතුරුව කැවිෂා දිල්හාරි කැතරින් බ්‍රයිස්ගේ කඩුල්ල දවා ගනිමින් ස්කොට්ලන්තයේ ලකුණු රැස් කිරීමේ වේගය මන්දගාමී කළාය.
කැතරින් බ්‍රයිස් ලකුණු 23කට දැවී යෑමෙන් අනතුරුව ලකුණු රැස් කිරීමේ වේගය සැලකිය යුතු ලෙස පහත වැටිණි. වේගවත් ආරම්භයක් ලබා සිටි ඩාර්සි කාටර්ද පසුගිය පන්දු 26කදී රැස් කළේ ලකුණු 16ක් පමණක් වීමෙන් ස්කොට්ලන්ත ඉනිම මන්දගාමී විය.
කෙසේ වෙතත් සාරා බ්‍රයිස් සහ අයිල්සා ලිස්ටර් සිව්වැනි කඩුල්ලට පන්දු 32කින් ලකුණු 53ක සබඳතාවක් ගොඩනඟමින් යළි ඉනිම ශක්තිමත් කළහ. ලිස්ටර් ලකුණු 26කට දුවද්දී දැවී ගියද සාරා බ්‍රයිස් අවසන් පන්දුවාරයේදී මිතලි අයෝධ්‍යාට එරෙහිව හතරේ පහර දෙකක් එල්ල කරමින් නොදැවී ලකුණු 47ක් රැස් කළ කළාය. ඔවුන් අවසන් පන්දුවාර හයේදී ලකුණු 63ක් රැස් කරමින් නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසනදී කඩුලු 6කට ලකුණු 151ක් දක්වා ඉනිම රැගෙන ගියේය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට නායිකා චමරි අතපත්තු තවත් වේගවත් ආරම්භයක් ලබා දුන්නාය. අයර්ලන්තයට එරෙහිව නොදැවී ශතකයක් රැස් කළ ඇය මෙවරද පන්දු 16කින් ලකුණු 33ක් රැස් කරමින් පළමු පන්දුවාර කිහිපයේදීම තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත ගෙන ආවාය. ඇයගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ඉමේෂා දුලානි ඉක්මනින් දැවී ගියද චමරි සහ හසිනි පෙරේරා එක්ව පන්දුවාර 4.4ක් තුළ ලකුණු 50 සීමාව පසු කළහ. එහෙත් කැතරින් ෆ්‍රේසර් චමරිගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ තරගයේ ගමන් මග වෙනස් විය. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 27ක් සහ හසිනි පෙරේරා ලකුණු 23ක් රැස් කරමින් ඉනිම රැක ගැනීමට උත්සාහ කළද ශ්‍රී ලංකාවට විටින් විට කඩුලු අහිමි විය.
අවසන් පන්දුවාර පහේදී ලකුණු 34ක් පමණක් අවශ්‍යව තිබියදී ශ්‍රී ලංකාව සතුව පැවැතියේ කඩුලු 4 ක් පමණක් බැවින්, තරගය යළිත් ස්කොට්ලන්තය දෙසට හැරුණු බැවක් පෙනිණ. එහෙත් ගේබ්‍රියෙලා ෆොන්ටෙනෙලා අතින් උඩපන්දු දෙකක් ගිලිහී යෑමත් අවසන් මොහොතේ කැතරින් බ්‍රයිස්ගේ පන්දුවාරයෙන් අතිරේක ලකුණු කිහිපයක් හිමි වීමත් ශ්‍රී ලංකාවට වාසිදායක විය.
ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 151 යි – (ඩේසි කාටර් 34, කැතරින් ෆ්‍රෙසර් 12, කැත්‍රින් බ්‍රයිස් 23, සාරා බ්‍රයිස් 47, අලිසා ලිස්ටර් 26, මිතලි අයෝද්‍යා 34/2, සුගන්ධිකා කුමාරි 25/1, කවීෂා දිල්හාරි 19/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 19.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 154 යි – (චමරි අතපත්තු 33, ඉමේෂා දුලානි 04, හසිනි පෙරේරා 23, හර්ෂිතා සමරවික්‍රම 27, හංසිමා කරුණාරත්න 01, කවීෂා දිල්හාරි 18, නිලක්ෂිකා සිල්වා 21*, කෞෂානි නුත්‍යාංගනා 12, සුගන්ධිකා කුමාරි 07*, කැත්‍රින් බ්‍රයිස් 28/2, රිෂෙල් ස්ලේටර් 31/2, කැතරින් ෆ්‍රෙසර් 25/2, කර්ස්ටි ගෝර්ඩන් 24/1)






