slc
logo
Home   |    News
ජූනි 24, 2026
සිනෙත්ගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකා නැගීඑන පිල තරගාවලිය සම කරයි

sinhala editor

සිනෙත් ජයවර්ධනගේ වේගවත් ශතකය මූලික කරගනිමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (24දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 125ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමටද ශ්‍රී ලංකා නැගීඑන පිලට හැකි විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නැගීඑන පිල මුලින්ම පන්දුවට පහරදී පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 360ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි පිලට පන්දුවාර 45.4කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 235ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ විශිෂ්ටතම පිතිහරඹය වාර්තා කළ සිනෙත් ජයවර්ධන පන්දු 63කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් සමග ලකුණු 118ක් රැස් කරමින් ප්‍රබල ආරම්භයක් ලබා දුන්නේය. ඔහුට විෂේන් හැළඹගේගෙන් ලද සහායද නොඅඩු වූ අතර හැළඹගේ පන්දු 45කින් ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගිනි. මේ දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 164 ක වේගවත් සබඳතාවක් ගොඩනංවන ලද්දේ පන්දුවාර 16.1 පන්දුවක් (පන්දු 97 ක්) පමණක් වැය කරමිනි.

ඉන් අනතුරුව නායක නිපුන් ධනංජය පන්දු 66කින් ලකුණු 55ක් ලබාගනිමින් මැදපෙළ ස්ථාවර කළ අතර, රනේෂ් සිල්වා පන්දු 60කින් ලකුණු 46ක්, දිනුර කළුපහන පන්දු 26කින් ලකුණු 28ක් සහ කවිජ ගමගේ පන්දු 15කින් ලකුණු 19ක් ලබා දෙමින් ලකුණු පුවරුව තවදුරටත් ඉහළට ඔසවා තැබූහ. ශ්‍රී ලංකා ඉනිමට අතිරේක ලකුණු 23ක්ද එක්විය.

බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් අතර සීෂාන් මොටාරා ලකුණු 48කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ජෙඩියා බ්ලේඩ්ස් ලකුණු 60කට කඩුලු 3ක් සහ නේතන් එඩ්වර්ඩ් ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්හ.

ලකුණු 361ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි පිලට ශ්‍රී ලංකා පන්දු යවන්නෝදැඩි පීඩනයක් එල්ල කළහ. ආරම්භයේදීම මුල් පෙළ කඩුලු කිහිපයක් අහිමි කරගත් කොදෙව් පිල ගොඩ නැගීම වෙනුවෙන් කෙව්ලන් ඇන්ඩර්සන් පන්දු 68කින් ලකුණු 63ක් රැස් කළ අතර, අවසන් භාගයේදී නේතන් එඩ්වර්ඩ් නොදැවී ලකුණු 32ක් සහ රනයිකෝ ස්මිත් පන්දු 20කින් වේගවත් ලකුණු 32ක් රැස් කළහ. එහෙත් ඒ දක්ෂතා ජයග්‍රහණය සඳහා සංචාරකයින්ට ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකා නැගීඑන පිල වෙනුවෙන් පන්දු යැවීමේදී අක්මාල් ෆස්ලි ලකුණු 37කට කඩුලු 3ක් දවාගනිමින් කැපී පෙනුණු අතර මිහිරංග සිල්වාද ලකුණු 46කට කඩුලු 3ක් ලබා ගත්තේය. කවිජ ගමගේ කඩුලු 2ක් දවාගත් අතර චාමික හීනටිගල සහ ට්‍රෙවීන් මැතිව් කඩුල්ල බැගින් බිඳ දැමූහ.

මෙම ජයත් සමග පළමු තරගයේ පරාජයෙන් පසු තරගාවලිය තුළ නැවත සටනට පිවිසි ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස සමකරමින් අවසන් තරගය තීරණාත්මක තරගයක් බවට පත් කර ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 360 යි – (සිනෙත් ජයවර්ධන 118, නිපුන් ධනංජය 55, විෂේන් හලඹගේ 50, රනේෂ් සිල්වා 46, දිනුර කළුපහන 28, අසිත වන්නිනායක 06, චාමික හීනටිගල 11, කවීජ ගමගේ 19, ට්‍රෙවීන් මැතිව් 01, අක්මාල් ෆස්ලි 02, මිහිරංග සිල්වා 01*, සීෂාන් මොටාරා 48/3, ජෙඩියා බ්ලේඩ්ස් 60/3, නේතන් එඩ්වර්ඩ් 35/2)

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි පිල පන්දුවාර 45.4 කදී සියලු දෙනා දැවී ලකුණු 235 යි – (කෙව්ලන් ඇන්ඩර්සන් 63, නේතන් එඩ්වර්ඩ් 32*, රනයිකෝ ස්මිත් 32, මවෙන්ද්‍ර ඩින්ඩ්යල් 31, අක්මාල් ෆස්ලි 37/3, මිහිරංග සිල්වා 46/3, කවිජ ගමගේ 54/2)

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee