ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම් අතර පළමු සිව්දින නිල නොලත් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ඉන්දීය ‘ඒ‘ ක්‍රීඩකයෝ සමත්ව සිටියහ. ඔවුන් දෙවැනි ඉනිමේ කිසිවකු නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට වඩා සමස්ථ තරගයේදී ලකුණු 170ක ඉදිරියට පැමිණීමට සමත්ව සිටියහ.
පළමු ඉනිමේදී කඩුලු 6ක් දැවී ලකුණු 452ක් රැස් කළ ඉන්දීය ‘ඒ‘ කණ්ඩායමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සිය පළමු ඉනිම ලකුණු 330කට සීමා වූ අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 122ක පළමු ඉනිම් වාසියක් හිමි විය.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල තෙවැනි දිනය ආරම්භ කළේ කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටියදීය. නොදැවී සිටි නුවනිඳු ප්‍රනාන්දු සහ අශේන් බණ්ඩාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක වටිනා සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ශක්තිමත් කළහ. නුවනිඳු පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 84ක් රැස් කළ අතර අශේන් පන්දු 162කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 70ක් වාර්තා කළේය.
ඉන් අනතුරුව නායක සහන් ආරච්චිගේ පිටියට පිවිස අශේන් සමඟ සිව්වැනි කඩුල්ලට තවත් ලකුණු 117ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම යළිත් ස්ථාවර කළහ. සහන් පන්දු 129කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 72ක් රැස් කළ අතර රවිඳු ප්‍රනාන්දු වේගවත් ලකුණු 22ක් ලබා දුන්නේ පන්දු 16කදී හතරේ පහර 4ක් එල්ල කරමිනි. අංජල බණ්ඩාර සහ චාමික ගුණසේකර ලකුණු 15 බැගින් රැස් කළද අවසන් කඩුලු ඉක්මනින් බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ ඉනිම ලකුණු 330කට අවසන් විය.
ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අව්කිබ් නබී පන්දුවාර 19.4කදී ලකුණු 58කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් විය. යෂ් තාකූර් සහ හර්ෂ් ඩුබේ කඩුලු දෙක බැගින් දවා ගත් අතර සරන්ෂ් ජේන් සහ අන්ෂුල් කම්බෝජ් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
ලකුණු 122ක වාසියක් සමඟින් දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය ‘ඒ‘ පිලට ආරම්භයේදීම සුළු පසුබෑමක් එල්ල වූයේ පළමු ඉනිමේ ශතකලාභී සයි සුදර්ශන් ලකුණු 7ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමත් සමඟය. ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර මෙම ආබාධය ඉන්දීය කණ්ඩායමට සැලකිල්ලට ගත යුතු කරුණක් වී තිබේ.
කෙසේ වෙතත් දිනය නිමාවන විට ආයුෂ් පාණ්ඩේ පන්දු 52කදී නොදැවී ලකුණු 20ක් සහ දේව්දත් පඩික්කල් පන්දු 35කදී නොදැවී ලකුණු 20ක් රැස් කරමින් ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 48ක් දක්වා රැගෙන ගියහ.
ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 111.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 452 යි – (සායි සුදර්ශන් 132, ආයුෂ් පාණ්ඩේ 25, දෙව්දත් පඩික්කාල් 12, රුටුරාජ් ගයික්වාඩ් 22, ධෘව් ජුරෙල් 141*, ශයික් රශීඩ් 63, හර්ෂ් ඩුබේ 30, සර්නාෂි ජේන් 03*, චාමික ගුණසේකර 84/3, දිලුම් සුදීර 143/2, රවිඳු ප්‍රනාන්දු 87/1)
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 101.4 කදී සියලු දෙනා දැවී ලකුණු 330 යි – (නුවනිඳු ප්‍රනාන්දු 84, අෂේන් බණ්ඩාර 70, අංජල බණ්ඩාර 15, රවිඳු ප්‍රනාන්දු 22, කවිඳුු පතිරත්න 03, චාමික ගුණසේකර 15, දිලුම් සුදීර 08*, දුලාජ් සමුදිත 00, නිරෝෂන් දික්වැල්ල 10, පවන්ත වීරසිංහ 11, ආකිබ් ලබී 58/4, යෂ් ඨාකූර් 51/2, හර්ෂ් ඩුබේ 84/2, සර්නාෂ් ජේන් 83/1, අංෂුල් කාම්බෝජ් 43/1)
ඉන්දීය දෙවැනි ඉනිම පන්දුවාර 17 කදී කිසිවකු නොදැවී ලකුණු 48 යි – (ආයුෂ් පාන්ඩේ 20*, සායි සුදර්ශන් 07*, දෙව්දත් පඩික්කාල් 20*)





