ශ්‍රී ලංකා, ඉන්දීය සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම් අතර පැවැති තුන්කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, ඉන්දීය යොවුන් පිතිකරු වයිභව් සූරියවංශිගේ අතිවිශිෂ්ට ප්‍රහාරාත්මක ඉනිමකින් එක මොහොතකින්ම වෙනස් කළ තරගයක් බවට පත්විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (21) පැවැති එම තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කරමින් ශූරතාවය තමන් සතු කරගැනීමට ඉන්දීය ‘A’ පිල සමත් වූයේ ආරම්භයේදීම ප්‍රතිවාදී පන්දු යවන්නන් අසරණ කළ සූරියවංශිගේ ගිනි අවුලුවන පිතිහරඹය මතය.
පන්දු 29කට ලකුණු 94ක් රැස් කළ සූරියවංශි, ශ්‍රී ලංකා පන්දු බලඇණියට කිසිදු හුස්මක් ගැනීමට ඉඩ නොදී තරගයේ පළමු පන්දුවාර කිහිපය තුළම සම්පූර්ණ පාලනය ඉන්දීය පිල අතට පත් කළේය. හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් වාර්තා කළ එම ඉනිම ඉන්දීය ඉනිමේ වේගය පමණක් නොව, අවසන් තරගයේ ජයග්‍රාහී රේඛාවද මුල්ම අදියරේදීම ඇඳ දුන් ප්‍රහාරයක් විය.
එහි වටිනාකම තවත් ඉහළ ගියේ, ඔහු පන්දු 11කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් පළමු පෙළ ‘ලිස්ට් ‘A’ ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ බැවිනි. ඒ අනුව, වසර 20කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ කෞශල්‍ය වීරරත්න සතුව තිබූ වාර්තාව ද සූරියවංශිගේ පිත්ත හමුවේ බිඳ වැටුණි. ඉනිමේ ආරම්භක මොහොතේ සිටම ප්‍රතිවාදීන් මත දැඩි පීඩනයක් ගොඩනඟමින්, තරගය සම්පූර්ණයෙන්ම ඉන්දීය පිලේ අතට හරවා දැමූ මේ ඉනිම, අවසන් මහා තරගයේම නොව සමස්ත තරගාවලියේම කැපී පෙනෙන මොහොත බවට පත්විය.
කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වූ අතර ඔහුගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ‘A’ පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 377ක් රැස් කළේය.
හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් එල්ල කළ සූරියවංශි තිබීම ඔහුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය තවදුරටත් තහවුරු කළ පෙන්වීය. මේ දක්වා එම වාර්තාවේ අයිතිකරු වූ ශ්‍රී ලංකාවේ කෞශල්‍ය වීරරත්න පන්දු 12කින් අර්ධ ශතකයක් රැස් කරමින් මෙතෙක් එම වාර්තාවට හිමිකම් කීවේය.
සූරියවංශිගේ ප්‍රහාරයට ප්‍රියන්ෂ් ආර්යා ද හොඳ සහායක් ලබාදුන් අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 53කදී ලකුණු 132ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූහ. ආර්යා ලකුණු 39ක් ලබා දැවී ගියද එතෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම පීඩනයට පත් කර තිබුණි.
සූරියවංශි දැවී ගිය පසු ඉන්දීය ඉනිම බිඳ වැටෙන ලකුණු පුවරුවක් බවට පත්වුණේ නැත. රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 40ක්, නායක තිලක් වර්මා ලකුණු 67ක් සහ කුමාර් කුෂාග්‍රා ලකුණු 36ක් රැස් කරමින් මැදපෙළ ඉනිම තවදුරටත් ශක්තිමත් කළහ. අවසන් පන්දුවාර කිහිපයේදී අනුකුල් රෝයි පන්දු 15කින් ලකුණු 39ක් ලබාගැනීමත් සමඟ ඉන්දීය ඉනිම ලකුණු 377 දක්වා ඉහළ ගියේය.
ලකුණු 378ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පිළිතුරු ඉනිමේදී සටන්කාමී පිතිහරඹයක් ඉදිරිපත් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැත. සදීර සමරවික්‍රම ලකුණු 52ක් සහන් ආරච්චිගේ ලකුණු 38ක් වනුජ සහන් ලකුණු 62ක් සහ විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 39ක් ලබා සටන් කළද ශ්‍රී ලංකා ඉනිම සියලු දෙනා දැවී ලකුණු 311කට සීමා විය.
ඉන්දීය ‘A’ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9ක් දැවී ලකුණු 377 යි – (ප්‍රියන්ෂ් ආර්යා 39, වයිභව් සූරියවංශි 94, රුටුරාජ් ගයික්වාඩ් 40, තිලක් වර්මා 67, කුමාර් කුෂාග්‍රා 36, විප්රාජ් නිගම් 27, අනුකුල් රෝයි 39*, වනුජ සහන් 39/2, කුගදාස් මාතුලන් 82/2, රවිඳු ප්‍රනාන්දු 72/2)
ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී ලකුණු 311 යි – (නිරෝෂන් දික්වැල්ල 25, නුවනිඳු ප්‍රනාන්දු 21, සදීර සමරවික්‍රම 52, සහන් ආරච්චිගේ 38, වනුජ සහන් 62, විජයකාන්ත් වියස්කාන්ත් 39, මොහොමඩ් ශිරාස් 21, යශ් ඨාකූර් 45/3, විප්රාජ් නිගම් 60/3, අනුකුල් රෝයි 42/2)




