එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී අද (23දා) පැවැති අයිසීසී කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයකදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ අතිශය වැදගත් ජයක් වාර්තා කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 15.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 134ක් රැස් කරමින් පන්දු 27ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසු කළහ.
මෙම ජයග්‍රහණයේ නියමුවරිය බවට පත්වූයේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුය. ඇය පන්දු 61කින් නොදැවී ලකුණු 106ක් රැස් කරමින් අයර්ලන්ත පන්දු යවන්නියන්ට කිසිදු ඉඩක් නොතබා ශ්‍රී ලංකා ඉනිම තනිවම පාහේ ජයග්‍රහණය කරා රැගෙන ගියාය. චමරිගේ මෙම ඉනිම හතරේ පහර 17කින් සහ හයේ පහර 2කින් වර්ණවත් වූ අතර එය ඇගේ විස්සයි-20 ජාත්‍යන්තර දිවියේ සිව්වැනි ශතකය ලෙස වාර්තා අතරට එක්විය. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියකදී චමරි වාර්තා කළ පළමු ශතකය ද මෙය විය.
චමරි ඉනිම ආරම්භ කළේ කවර් කලාපය හරහා එල්ල කළ විශිෂ්ට හතරේ පහරකිනි. ඉනිමේ අවසානයද ඇය සනිටුහන් කළේ එම ප්‍රදේශයම ඉලක්ක කරගත් තවත් බලවත් හතරේ පහරකින්ය. ආරම්භයේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ චමරි පන්දුවාර බලය ක්‍රියාත්මක වූ මුල් පන්දුවාර හයේදී පමණක් නොසෑහෙන්න බැට දී අයර්ලන්ත පන්දු යවන්නියන් පීඩනයට ලක් කළාය. විශේෂයෙන්ම පා ඉන්න පෙදෙස නිතර ඉලක්ක කරමින් ලකුණු රැස් කළ ඇය ඉන්පසුත් තම ප්‍රහාරය එන්න එන්නම වැඩි කළාය.
චමරි සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ මුහුණ දුන් 29 වැනි පන්දුවේදීය. කාරා මරේගේ පන්දුවකට එල්ල කළ සටන්කාමී ‘ස්ලොග් ස්වීප්’ හයේ පහර ඇගේ විස්සයි-20 ජාත්‍යන්තර දිවියේ 100 වැනි හයේ පහර ලෙසද සටහන් විය. පන්දු 58කින් ශතකය සම්පූර්ණ කළ චමරි, ශ්‍රී ලංකා ඉනිමේ රැස් කළ ලකුණු 134 න් ලකුණු 106 ක්ම රැස් කරගත්තාය. එය මුළු ලකුණු ප්‍රමාණයෙන් සියයට 79 ක අගයක්වීමද ඇගේ ඉනිමේ අගය තවත් ඉහළ නැංවීය.
පසුගිය තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසුව චමරි නායිකාවක් ලෙස තමන් අසාර්ථක වූ බව පවා සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාව කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව වටයකට රැගෙන යාමට නොහැකි වූ බවට ඇය තමන්වම විවේචනය කර තිබූ අතර මෙවර ඉනිමේදී නම් ශ්‍රී ලංකාව තරගාවලියේ තවදුරටත් ජීවමානව තබා ගැනීමට ඇය සටන් කළ ආකාරය පැහැදිලිව පෙනී ගියේය. එමෙන්ම ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ජීවමානව තබා ගැනීමට නම් ශුද්ධ ලකුණු වේගය (Net Run Rate) ඉහළ නැංවීම අත්‍යවශ්‍යව තිබූ අතර චමරිගේ මෙම විශිෂ්ට ඉනිම ඒ අරමුණ ඉටුකර ගැනීමට මහත් පිටුවහලක් විය.
චමරි සමඟ ආරම්භක පිතිකාරිනිය ලෙස කටයුතු කළ ඉමේෂා දුලානි ලකුණු 20ක් රැස් කරමින් ඉනිමට සාර්ථක සහයක් ලබා දුන්නාය. දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. ශ්‍රී ලංකා ඉනිමේ එකම කඩුල්ල ලෙස ඉමේෂා දුලානි දැවී ගියේ ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට්ගේ පන්දුවකටය. ඉන් අනතුරුව නීලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 4ක් රැස් කරමින් චමරි සමඟ එක්ව ජයග්‍රහණය තහවුරු කළාය.
චමරි වාර්තා කරන ලද ශතකයේ විශේෂත්වය වන්නේ ඇය මීට පෙර 2017 එක්දින ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කළේද මෙම බ්‍රිස්ටල් පිටියේදීම වීමය. ශතකය සම්පූර්ණ කළ අවස්ථාවේදී චමරි හිස් ආවරණය ඉවත් කරමින් තම කමිසයේ පිටුපස ඇති නම වෙත ඇඟිල්ලෙන් පෙන්වමින් එය සැමරූ ආකාරයද කැපී පෙනිණි.
ෙශ්‍රී ලංකා ඉනිමේ මුල් පන්දුවාර 6 අවසන් වන විට කඩුල්ලක් නොදැවී ලකුණු 55ක් රැස්ව තිබූ අතර, පන්දුවාර 4.5ක් අවසන් වන විටම ලකුණු 50 සීමාව පසුකර තිබිණි. පළමු කඩුල්ලේ ලකුණු 50 සම්බන්ධතාවය පන්දු 29කින් වාර්තා වූ අතර, එහිදී චමරි ලකුණු 46ක් රැස් කර සිටියාය. ඉනිමේ 12.1 පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 100 සීමාවට ළඟා වූවේය.
පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළේය. ආරම්භයේදීම කඩුලු 3ක් ලකුණු 19ක් තුළ බිඳ වැටී දැඩි අසීරුතාවකට පත්වූ අයර්ලන්ත ඉනිම ගොඩනැගීමට නායිකා ගැබි ලුවිස් විශිෂ්ට උත්සාහයක් දැරුවාය. ඇය පන්දු 50කින් ලකුණු 59ක් රැස් කළ අතර, එම ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය. ලුවිස් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 40කිනි.
ඇමි හන්ටර් ලකුණු නොලබා දුවද්දී දැවී ගිය අතර ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට්ටද ලකුණු ලබාගැනීමට නොහැකි විය. රෙබෙකා ස්ටොකල් ලකුණු 13කට දැවී යාමත් සමඟ අයර්ලන්තය ලකුණු 19කට කඩුලු 3ක් අහිමි කරගෙන දැඩි පීඩනයකට පත්විය. එහෙත් ගැබි ලුවිස් සහ ලියා පෝල් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉනිම යළි ගොඩනැගූහ. ලියා පෝල් ලකුණු 20ක් රැස් කළ අතර, අවසන් භාගයේදී ඇලිස් ටෙක්ටර් නොදැවී ලකුණු 28ක් රැස් කරමින් අයර්ලන්ත ඉනිම 130 දක්වා ඔසවා තැබීමට දායක වූවාය.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් මිතාලි අයෝධ්‍යා ලකුණු 18කට එක් කඩුල්ලක් ද, සුගන්දිකා කුමාරි ලකුණු 26කට එක් කඩුල්ලක් ද, නායිකා චමරි අතපත්තු ලකුණු 23කට එක් කඩුල්ලක් ද සහ නීලක්ෂිකා සිල්වා ලකුණු 12කට එක් කඩුල්ලක් ද බිඳ හෙලූහ.
ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නිය කෞෂිනි නුත්‍යාංගනා මෙම තරගයේදීද කැපී පෙනෙන දස්කම් දැක්වූවාය. ඉනිමේ පළමු පන්දුවාරයේදී ඇමි හන්ටර් සහ අනෙක් ආරම්භක පිතිකාරිනිය පා ලකුනක් කරා දිව යද්දී, නුත්‍යාංගනා පන්දුව ඉක්මනින් රැගෙන කඩුල්ල බිඳ දැමමින් කඩුල්ල දවා ගත්තාය. ඉන් අනතුරුව ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් සරල ස්ටම්ප් කිරීමකින් දැවී ගිය අතර, ලියා පෝල් එල්ල කරන ලද ‘ස්කූප්’ පහර උඩ පන්දුවක් ලෙස රැක ගනිමින් දස්කම් දැක්වීම කැපී පෙනිණ.
පිතිහරඹයෙන් පමණක් නොව පන්දු යැවීමෙන්ද දායකත්වය දැක්වූ චමරි අතපත්තු තරගයේ වීරවරිය ලෙස නම් කෙරිණි. අයර්ලන්තය ලබාදුන් ලකුණු 131ක ඉලක්කය කඩුලු 9කින් සහ පන්දු 27ක් ඉතිරිව තිබියදී ජයගත් ශ්‍රී ලංකාවට, මෙය තරගාවලියේ ඉදිරි ගමනට මෙන්ම ලකුණු වේග අනුපාතය ඉහළ නැංවීමටද ඉතාමත් වටිනා ජයක් විය.
අයර්ලන්තය පන්දුවාර 20 ක් අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 130 යි – (ගැබි ලුවිස් 59, ඇලිස් ටෙක්ටර් 28*, ලියා පෝල් 20, මිතාලි අයෝධ්‍යා 18/1, චමරි අතපත්තු 23/1, නීලක්ෂිකා සිල්වා 12/1, සුගන්දිකා කුමාරි 26/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 15.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 134 යි – (චමරි අතපත්තු 106*, ඉමේෂා දුලානි 20, ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් 22/1)





