slc
logo
Home   |    News
ජූනි 8, 2026
නොදැවුණු ලකුණු 126 කින් අංජල ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම රැක ගනියි

sinhala editor

හම්බන්තොට දී අද (08 දා) ආරම්භ වුණු ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විද්‍යායතන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම ගලවා ගැනීමට අංජල බණ්ඩාර විසින් නොදැවී රැස් කරන ලද අතිවිශිෂ්ට ශතකයට හැකියාව ලැබිණ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ එක් අවස්ථාවක පළමු කඩුලු 7 ම ලකුණු 133 ක් ඇතුළත බිඳ වැටී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරුතාවකට පත්ව සිටියද, එහිදී ඉදිරියට පිවිසි අංජල බණ්ඩාර ඉවසීමෙන් සහ වගකීමෙන් යුතුව පිතිහරඹයේ නියැළීමට සමත්වීඹ නිසා ශ්‍රී දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණු 302 ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබිණ.

අංක 6 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණී අංජල පන්දු 165 කට මුහුණ දී හතරේ පහර 13 ක් සමගින් ලකුණ් 126 ක් ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදීද පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටියි.

ඔහුට අනගි සහායක් ලබාදුන් නිසල අබේරත්න නොදැවී ලකුණු 38ක් ලබා ගත් අතර, දෙදෙනා එක්ව නවවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක අගනා සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් තත්ත්වයකට ගෙන ගියහ.

මීට පෙර අසිත වන්නිනායක ලකුණු 41ක් රැස් කරමින් ඉදිරි පෙළින් සහයෝගයක් ලබා දුන්නේය. බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි පන්දු යවන්නන් අතරින් ජොහාන් ලේන් කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණේය.

පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් කණ්ඩායම පන්දුවාර 77ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 302ක් රැස් කර සිටි අතර ඉහතින් නම් සඳහන් පිතිකරුවන් තිදෙනා හැර ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ වැඩිම ලකුණු ලෙස සනිටුහන් වූයේ කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් ලබා දුන් අතිරේක ලකුණු විය. ඔවුන් මේ තරගයේදී කඩුලු රකින්නා අතින් ගිලිහුණු (බයිස්) ලකුණු 20 ක්, පා ලකුණු (ලෙග් බයිස්) 2 ක්, නිපන්දු 5 ක් සහ වයිඩ් පන්දු 8 ක් වශයෙන් සමස්ථ ලකුණු 35 ක් ලබා දී තිබිණ.

ශ්‍රී ලංකා ‘ඒ පළමු ඉනිම පන්දුවාර 77 කදී කඩුලු 8 ක් දැවී ලකුනු 302 යි – (අංජල බණ්ඩාර 126*, ශාරුජන් ශන්මුගනාදන් 25, නිසල අබේරත්න 38, ශක්ති උදාර 13, අසිත වන්නිනායක 41, පුළිඳු පෙරේරා 09, රවිඳු රසාන්ත 04, සහන් කෝසල 03, දිනු කලුපහන 05, තරින්ද නිර්මාල් 03, ජොහාන් ලේයින් 58/3, ජේඩියා ඉ්ලේඩ්ස් 64/2, රයන් බන්ඩූ 45/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee