ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ සිය ජයග්‍රාහී ගමන තවදුරටත් ඉදිරියට ගෙන ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම, අද (29 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට සමත් විය. මෙය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ තරගාවලියේ පිට පිටම තෙවැනි ජයග්‍රහණය වූ අතර, ප්‍රබල ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඔවුන්ගේ පිතිකරුවන් දැක්වූ ආක්‍රමණශීලී පිතිහරඹය විශේෂත්වයක් විය.
කාසියේ වාසිය දිනාගත් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 221ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගූහ.
ජැෆ්නා පිල රැස් කරන ලද මෙම ලකුණු 221 ක ලකුණු සංඛ්‍යාව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට වන අතර ඔවුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක් දැවී ලකුණු 213 ක් රැස් කර තිබුණි.
ජැෆ්නා ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් කමිල් මිෂාර පන්දු 26කදී ලකුණු 49ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟිනි. ඔහුගේ ප්‍රහාරාත්මක ඉනිම ලකුණු වේගය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබාදුන්නේය.
අවසන් අදියරේදී පිටියට පැමිණි චමිඳු වික්‍රමසිංහ කැන්ඩි පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 15කදී වේගවත් ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟිනි. ඔහුගේ ඉනිමේ ප්‍රහාරක වේගය 286.66ක් ලෙස සටහන් විය. ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 36කින් ජැෆ්නා ලකුණු පුවරුව ශක්තිමත් කළේය.
කැන්ඩි රෝයල්ස් වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ මොයීන් අලී කඩුලු 2 බැගින් දවා ගත්හ.
ලකුණු 222ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කන්ඩි රෝයල්ස් කණ්ඩායම ද සටන්කාමී පිතිහරඹයක නිරත වූ නමුත්, අවසානයේ නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 200ක් පමණි.
කැන්ඩි ඉනිමේ ආරම්භක පිතිකරු පවන් සංදේශ් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 21කදී ලකුණු 48ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟිනි. ඔහුට සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය අහිමි වූයේ ලකුණු දෙකකින් පමණි.
ලහිරු උදාර ලකුණු 30ක්, විජේ ශංකර් ලකුණු 25ක් සහ වනිඳු හසරංග ලකුණු 24ක් ලබා ගනිමින් කැන්ඩි ඉනිමට දායක වූහ. කෙසේ වෙතත් ජැෆ්නා පන්දු යවන්නන් අවසන් අදියරේදී තරගයේ පාලනය නැවතත් තමන් වෙත ලබා ගත්හ.
ජයග්‍රහණය තහවුරු කළ ප්‍රධාන පන්දු යවන්නා වූයේ දුනිත් වෙල්ලාලගේය. ඔහු පන්දු වාර 2කදී ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් කන්ඩි රෝයල්ස් හඹා යාමට දැඩි පහරක් එල්ල කළේය. ශකිබ් අල් හසන් කඩුලු 3ක් සහ දිල්ෂාන් මධුශංක කඩුලු 2ක් දවා ගනිමින් ජැෆ්නා ජයග්‍රහණයට දායක වූහ.
ජැෆ්නා කිංග්ස් – 221/6 (20)
කමිල් මිෂාර 49, චමිඳු වික්‍රමසිංහ 43, අවිශ්ක ප්‍රනාන්දු 36, වනිඳු හසරංග 37/2, මොයීන් අලී 38/2
කැන්ඩි රෝයල්ස් – 200 (20)
පවන් සඳේෂ් 48, ලහිරු උදාර 30, විජේ ශංකර් 25, වනිඳු හසරංග 24, දුනිත් වෙල්ලාලගේ 11/3, ශකිබ් අල් හසන් 43/3, දිල්ෂාන් මධුශංක 36/2





