පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
සුපුරුදු නායිකා චමරි අතපත්තු කණ්ඩායමේ නායකත්වය දරන අතර, බංග්ලාදේශයට එරෙහි අවසන් විස්සයි-20 තරගාවලිය අහිමි වූ ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න නැවතත් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.
එමෙන්ම වයස අවුරුදු 17ක් වන දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන සංජනා කාවින්දි සහ අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායිකා චමුදි ප්රබෝධාව පළමු වරට ජාතික කණ්ඩායමට කැඳවා තිබේ.
කෙසේ වෙතත්, හංසිමා කරුණාරත්න, දෙව්මි විහංගා, මිතලි අයෝධ්‍යා සහ අත්දැකීම් බහුල වමත් දඟ පන්දු යවන ඉනෝකා රණවීර මෙවර විස්සයි-20 සංචිතයෙන් ඉවත් කර ඇත.
පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමින් ඉතිහාසගත තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා පිල, එම ජයග්‍රාහී මානසිකත්වය විස්සයි-20 තරගාවලියටද රැගෙන යාම අරමුණු කරගෙන සිටියි.
තරග තුනම දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පළමු තරගය ජූලි 31 වැනිදා පැවැත්වේ. දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් අගෝස්තු 2 සහ 4 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 සංචිතය – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, සංජනා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කෞෂානි නුත්‍යාංගනා, කවීෂා දිල්හාරි, නිමාෂා මීපගේ, චමුදි ප්‍රබෝධා, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා, කාව්‍යා කාවින්දි සහ රශ්මිකා සෙව්වන්දි.





