slc
logo
Home   |    News
ජූලි 4, 2026
උදාරගේ විශිෂ්ඨ ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථායකට

sinhala editor

කැරිබියන් බිමේදී සිය ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලහිරු උදාර, ද්විත්ව ශතකය ලකුණු 12 කින් මඟහැර ගියද ශ්‍රී ලංකාව පළමු දිනයේදී ප්‍රභල ස්ථානයකට රැගෙන යාමට සමත් විය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සමඟ වාර්තාගත ලකුණු 215ක සම්බන්ධතාවක් ගොඩනැගූ උදාරගේ ලකුණු 188 හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාව සතු විය.

නෝර්ත් සවුන්ඩ්හිදී ඊයේ (03) ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාව, දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 339 ක් රැස් කර සිටියේය. දිනයේ අවසන් මොහොතේ කඩුලු දෙකක් බිඳ වැටීමෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් යම් දුරකට නැවත තරගයට පිවිසියද සමස්ත දිනය පුරාම ආධිපත්‍යය පැවතියේ ශ්‍රී ලංකාව සතුවය.

ලකුණු 25ක් තුළ ආරම්භක කඩුලු දෙකම අහිමිව අසීරු තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ගොඩනැගීමේ වගකීම භාරගත් ලහිරු උදාර, සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 248කින් ලකුණු 188ක් රැස් කළේය. හතරේ පහර 18ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිම ද්විත්ව ශතකයට ලකුණු 12ක් පමණක් ඈතින් නිමාවට පත්විය.

ඇල්පිටිය ආනන්ද විදුහලෙනුත් පසුව නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේත් අධ්‍යාපනය හැදෑරූ ලහිරු උදාරට ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ස්ථාවර අවස්ථාවක් හිමිවීමට දිගු කාලයක් බලා සිටීමට සිදුවිය. පසුගිය වසරේ ජූනි මාසයේදී ටෙස්ට් දිවිය ආරම්භ කළද ශ්‍රී ලංකාවට සීමිත ටෙස්ට් තරග සංඛ්‍යාවක් පමණක් හිමිවීම හේතුවෙන් ඔහුට අඛණ්ඩ අවස්ථා නොලැබිණි. එහෙත් මෙම කැරිබියන් සංචාරයේදී පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීමත් සමඟ කණ්ඩායමට කැඳවුණු උදාර, ලැබුණු අවස්ථාවට උපරිම සාධාරණයක් ඉටු කරමින් සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළේය.

උදාරට අනගි සහායක් ලබාදුන් කමිඳු මෙන්ඩිස් පන්දු 120කින් ලකුණු 84ක් රැස් කළ අතර, දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 215ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එය කැරිබියන් දූපත්හිදී ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම ටෙස්ට් කඩුලු සම්බන්ධතාව ලෙස ඉතිහාසගත වූ අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ විශාලතම සම්බන්ධතාවන් අතරටද එක් විය. මෙහි වැදගත් භාවය වන්නේ ලකුණ 25 ක් ඇතුළත කඩුලු 2 ක් අහිමිව අසීරු තත්ත්වයක සිටියදී ගොඩ නැගුණු බැවිනි.

කමිඳු දැවී යෑමෙන් පසුව නායක ධනංජය ද සිල්වා සහ උදාර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක් එක් කරමින් ශ්‍රී ලංකාව තවත් ශක්තිමත් ස්ථානයකට රැගෙන ගියහ. කෙසේ වෙතත් දිනයේ අවසන් සැසියේදී වෙහෙසට පත්ව සිටි උදාර ඩීප් ෆයින් ලෙග් කලාපයේ උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. ඉන් අනතුරුව පන්දු 90කින් ලකුණු 33ක් රැස් කළ ධනංජයද ස්ලිප් ස්ථානය වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක නොවීය. ශමාර් ජෝසෆ්ගේ පන්දු යැවීම හමුවේ නිශාන් මධුෂ්ක සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම මුල් පැයේදීම දැවී ගියහ. එහෙත් එතැන් සිට උදාර සිය සංයමය සහ තාක්ෂණය මනාව ප්‍රදර්ශනය කරමින් ඉනිම ගොඩනැගූ අතර දුර්වල පන්දු කිසිවක් අපතේ නොයවා සීමාවෙන් එපිට යැවීමටද වගබලා ගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට දිනය පුරාම ශ්‍රී ලංකා පිතිකරුවන්ට අඛණ්ඩ පීඩනයක් එල්ල කිරීමට නොහැකි විය. ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක කේමාර් රෝච්ගේ අඩුවද ඔවුන්ට දැඩි ලෙස දැනුණි. ඔහු වෙනුවට ක්‍රීඩා කළ ඇන්ඩර්සන් පිලිප් පන්දුවාර 10කදී ලකුණු 52ක් ලබාදුන් අතර සෙසු පන්දු යවන්නන්ද දිගින් දිගටම නිවැරදි රේඛාව සහ දිග පවත්වා ගැනීමට අපොහොසත් වූහ.

කොදෙව්වන්ට දිනයේදී වටිනා අවස්ථා කිහිපයක්ද අහිමි විය. උදාර ලකුණු 55ක් ලබා සිටියදී ස්ලිප් කලාපයේ ලැබුණු උඩපන්දුවක් ජෝන් කැම්බල් සහ ජස්ටින් ග්‍රීව්ස් අතර ඇති වූ සන්නිවේදන ගැටලුවක් හේතුවෙන් ගිලිහී ගිය අතර කමිඳු ලකුණු 41ක් ලබා සිටියදී ඔහු පිත්තේ ගැටුණු පන්දුවක් පිළිබඳ අභියාචනයක් නොකිරීමද කොදෙව්වන්ට දැඩි අවාසියක් විය.

කෙසේ වෙතත් අවසන් සැසියේදී තරමක පාලනයක් ලබාගත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට උදාර සහ ධනංජයගේ කඩුලු දවා ගැනීමට හැකි විය. ධනංජයගේ කඩුල්ලත් සමඟ ජේඩන් සීල්ස් සිය ටෙස්ට් දිවියේ කඩුලු 100 සම්පූර්ණ කළ අතර එම සන්ධිස්ථානයට ළඟා වූ දෙවැනි වේගවත්ම බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නා බවටද පත්විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 83 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 338 යි – (ළහිරු උදාර 188, නිශාන් මදුෂ්ක 06, දිනේෂ් චන්දිමාල් 01, කමිඳු මෙන්ඩිස් 84, ධනංජය ද සිල්වා 33, කුසල් මෙන්ඩිස් 00*, සොනාල් දිනූෂ 05*, ශමාර් ජෝසප් 60/2, ජේඩ්න් සීල්ස් 72/1, අල්සාරි ජෝසප් 62/1, ජස්ටින් ග්‍රීව්ස් 23/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee