කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විෂේන් හැළඹගේ, දකුණු පාදයේ කලවා ආශ්‍රිත ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් දැන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සියල්ලටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.
ඉකුත් ජූලි 21 වැනිදා කැන්ඩි රෝයල්ස් සහ දඹුල්ල සික්සර්ස් අතර පැවැති තරගයේදීවිශේණ් මෙම ආබාධ තත්ත්වයට ගොදුරුව තිබේ. කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ මතය අනුව ඔහු තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හැළඹගේ මේ වන විට කොළඹ බලා පැමිණ තිබේ.
මෙවර LPL තරගාවලියේ ආබාධයක් හේතුවෙන් සම්පූර්ණ තරගාවලිය අහිමි වූ දෙවැනි ක්‍රීඩකයා බවටද විශේන් පත්වෙයි. මීට පෙර කලම්බු කැප්ස් නායක කුසල් මෙන්ඩිස් ද දකුණු පාදයේ කලවයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
කුසල් එම ආබාධයට ලක්වූයේ ජූලි 19 වැනිදා මහනුවර රෝයල්ස්ට එරෙහි තරගයේදී ලකුණක් සම්පූර්ණ කිරීමට ගත් උත්සාහයේදී වනඅතර අනතුරුව ඔහුවද ජාතික ඉහළ කාර්යය සාධන මාධ්‍යස්ථානයේ (National High Performance Centre) වැඩිදුර පුනරුත්ථාපන වැඩසටහන (ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමට පැමිණි බව තහවුරු කිරීම) යොමු කර ඇත.






