හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (28) පැවති තීරණාත්මක තෙවැනි කාන්තා එක්දින තරගයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සමත් විය. මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව වසර 24කට පසු දිනාගත් පළමු ද්විපාර්ශ්වික එක්දින තරගාවලි ජයග්‍රහණය වීම හේතුවෙන් සුවිශේෂී ඉතිහාසගත ජයග්‍රහණයක් ලෙස ද සටහන් විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 187කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වූහ. තරගයේ ආරම්භයේදීම පාලනය ශ්‍රී ලංකාව අතට පත් වූයේ චේතනා විමුක්තිගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙනි.
ඇය තරගයේ දෙවැනි ඕවරයේදී පන්දු පහක් තුළ පාකිස්තානයේ ප්‍රධාන පෙළ පිතිකාරිනියන් තිදෙනෙකු දවා ගනිමින් ප්‍රතිවාදීන් දැඩි අසීරුතාවකට පත් කළාය. සදාෆ් ශාමස් සහ සිද්රා අමීන් කඩුලු රකින්නිය වෙත උඩපන්දු ලබාදී දැවී ගිය අතර, අයේෂා සෆර් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. එම අවස්ථාවේ පාකිස්තානය ලකුණු 10කට කඩුලු 3ක් අහිමි කරගෙන සිටියේය.
ඉන් අනතුරුව ගුල් ෆෙරෝසා සහ මුනීබා අලී සිව්වැනි කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් ගොඩනැගූහ. ෆෙරෝසා පන්දු 35කින් ලකුණු 40ක් රැස් කළ අතර, මුනීබා අලී ලකුණු 34ක් ලබා ගත්තාය. නජීහා අල්වි ද ලකුණු 30ක් රැස් කරමින් දායක වූවාය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පන්දු යවන්නියන් නිරන්තරයෙන් කඩුලු දවා ගනිමින් පාකිස්තානයට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාම වැළැක්වූහ. නායිකා චමරි අතපත්තු ලකුණු 3කට කඩුලු 3ක්, කවීෂා දිල්හාරි ලකුණු 28කට කඩුලු 3ක් සහ චේතනා විමුක්ති ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ජයග්‍රහණයේ පදනම සකස් කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 188ක ඉලක්කය ඕවර 31.5කදී කඩුලු 2ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
දෙවැනි එක්දින තරගයේ ශතකයක් වාර්තා කළ විශ්මි ගුණරත්න ලකුණු 12කට දැවී ගියද, චමරි අතපත්තු සමඟ එක්ව වේගවත් ආරම්භයක් ලබා දුන්නාය. එම යුගලය පළමු කඩුල්ලට ලකුණු 46ක් එක් කළේය.
අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම දෙවැනි කඩුල්ලට පන්දු 48කින් ලකුණු 39ක සබඳතාවක් ගොඩනැගූ අතර, එහිදී චමරි සිය 20 වැනි එක්දින අර්ධ ශතකය ද වාර්තා කළාය. ඇය පන්දු 38කින් ලකුණු 52ක් රැස් කළාය.
ඉන් අනතුරුව හර්ෂිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 106ක සබඳතාවක් ගොඩනැගූහ. හසිනි පෙරේරා ලකුණු 51ක් නොදැවී රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම පන්දු 83කින් ලකුණු 71ක් නොදැවී රැස් කරමින් ජයග්‍රාහී පහර එල්ල කළාය.
පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද කැපී පෙනුණු චමරි අතපත්තු තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරිණි. එමෙන්ම තරගාවලිය පුරා ලකුණු 173ක් රැස් කරමින්, දෙවැනි එක්දින තරගයේ ශතකයක් ද වාර්තා කළ හර්ෂිතා සමරවික්‍රම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.
ලකුණු සාරාංශය
පාකිස්තානය – සියලු දෙනා දැවී 187 (44.5) ගුල් ෆෙරෝසා 40, මුනීබා අලී 34, නජීහා අල්වි 30, ෆාතිමා සනා 41 චමරි අතපත්තු 16/3, චේතනා විමුක්ති 21/3, කවීෂා දිල්හාරි 28/3
ශ්‍රී ලංකාව – කඩුලු 2ක් දැවී 188 (31.5) හර්ෂිතා සමරවික්‍රම 71* (83), චමරි අතපත්තු 52 (38), හසිනි පෙරේරා 51* (65), විශ්මි ගුණරත්න 12





