slc
logo
Home   |    News
ජූලි 5, 2026
ශ්‍රී ලංකා පළමු ඉනිමට කොදෙව්වෝ ලකුණු 491 ක් පිටුපසින්

sinhala editor

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගත් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 549 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීම සඳහා අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව දිනය අවසන් වන විට කොදෙව්වෝ ලකුණු 58 ක් ලබා ගනිද්දී එක් කඩුල්ලක් දවා ගනිමින් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වුහ.

මෙම තරගයේදී කොදෙව්වන් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමට නම් පළමු ඉනිමේදී ඔවුන් අවම වශයෙන් ලකුණු 349 ක් ලබා ගත යුතු වේ. ඒ අනුව එම අවධානමෙන් මිදීම සඳහා තවත් කඩුලු 9 ක් ඇතුළතදී  ලකුණු 291 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටියි.  

දෙවැනි දිනයේ තරගය ආරම්භ කරන විට කඩුලු 5කට ලකුණු 338ක් ලබා සිටි ශ්‍රී ලංකාව තවත් ලකුණු 211ක් එක් කරමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා ළඟා විය. එහිදී කුසල් මෙන්ඩිස් සහ ටෙස්ට් වරම්ලාභී සොනාල් දිනූෂ හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 246කදී ලකුණු 143ක වටිනා සබඳතාවක් ගොඩනැඟූහ.

ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ කුසල්, දිවා ආහාරයෙන් පසුව ලකුණු රැස් කිරීමේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් කොදෙව් පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. ජේඩන් සීල්ස්, අල්සාරි ජෝසප් සහ නායක රොස්ටන් චේස්ට ඇතුළු පන්දු යවන්නන්ට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් එල්ල කළ ඔහු, ස්කූප් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී ඇන්ඩර්සන් ෆිලිප්ගේ පන්දුවක් කඩුල්ලේ වැදී දැවී ගියේය.

අනෙක් අන්තයේ ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනැඟූ සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකයට ඉතා ආසන්නව පැමිණියද ලකුණු 92කට දැවී ගියේය. පන්දු 166කින් ගොඩනැඟූ එම ඉනිම ඔහුගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය ලෙසද සටහන් වූ අතර, ශතකය අහිමි වූයේ ලකුණු 8කිනි.

ඉන් අනතුරුව පසු පෙළින් පැමිණි මිලාන් රත්නායක(15), ප්‍රභාත් ජයසූරිය (17) සහ ඉසිත විජේසුන්දර (14)  වේගයෙන් ලකුණු රැස් කළ අතර තේ පානයෙන් පසු ශ්‍රී ලංකා නායකයා කඩලු 9 කට ලකුණ් 549 ක්ව තිබියදී ඉනිම අත්හිටවීමට තීරණය කළේය.

දැවැන්ත ඉලක්කයකට පිළිතුරු ඉනිම ආරම්භ කළ කොදෙව්වන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුවද අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට දෙවැනි ස්ලිප්හි සිට කමිඳු මෙන්ඩිස් විශිෂ්ට උඩපන්දුවක් රැක ගැනීමත් සමඟ බ්‍රැන්ඩන් කිංගේ කඩුල්ල ශ්‍රී ලංකාවට හිමිවිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තවත් කඩුලු කිහිපයක් ලබා ගැනීමේ අවස්ථා අහිමි විය. ජෝන් කැම්ප්බෙල් ලබාදුන් දුෂ්කර උඩපන්දුවක් ඉසිත විජේසුන්දර අතින් ගිලිහී ගිය අතර, කවෙම් හොජ් ලබාදුන් තවත් අවස්ථාවක් සොනාල් දිනූෂට රැක ගැනීමට නොහැකි විය. එමෙන්ම මිලාන් රත්නායකගේ පන්දුවකට දෙවැනි ස්ලිප්හි සිට ළහිරු උදාරට ලැබුණු සරල උඩපන්දුවක්ද ගිලිහී යාම හේතුවෙන් කොදෙව් පිලට තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාව උදාවිය.

එහෙත් සමස්ථයක් ගත් විට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිනය පුරාම විනයගරුක පන්දු යැවීමක නිරත වූ අතර කොදෙව් පිතිකරුවන්ට නිදහසේ ලකුණු රැස් කිරීමට ඉඩ ලබා නොදුන්හ.

දෙවැනි දිනය නිමාවන විට ජෝන් කැම්ප්බෙල් ලකුණු 31ක් සහ කවෙම් හොජ් ලකුණු 6ක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, කොදෙව් කණ්ඩායම තවමත් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 491ක් පසුපසින් සිටියේය. ඒ අනුව තෙවැනි දිනයේදී කොදෙව් පිල ඉක්මනින් සීමා කර තරගය තමන්ගේ පාලනයේ තවදුරටත් තබා ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ වනු ඇත.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 139.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 549 යි – (ළහිරු උදාර 188, නිශාන් මදුෂ්ක 06, දිනේෂ් චන්දිමාල් 01, කමිඳු මෙන්ඩිස් 84, ධනංජය ද සිල්වා 33, කුසල් මෙන්ඩිස් 69, සොනාල් දිනූෂ 92, මිලාන් රත්නායක 15, ප්‍රභාත් ජයසූරිය 17*, ඉසිත විජේසුන්දර 14,  ජේඩන් සීල්ස් 98/2, ශමර් ජෝසප් 98/2, අල්සාරි ජෝසප් 98/1, ඇන්ඩර්සන් ෆිලිප් 72/1, ජස්ටින් ග්‍රීව්ස් 43/1, රොස්ටන් චේස් 99/1, කවෙම් හොජ් 26/1)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 24 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 58 යි – (ජෝන් කැම්ප්බෙල් 31*, බ්‍රැන්ඩන් කිං 17, කවෙම් හොජ් 06*, අසිත ප්‍රනාන්දු 11/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee