slc
logo
Home   |    News
ජූලි 6, 2026
හෝප් – ග්‍රීව්ස් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඈතට රැගෙන යති

sinhala editor

ඉවසීමේ සටනක් ලෙස ආරම්භ වූ තෙවැනි දිනය, මැද භාගයේදී ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ගෙන ආවත්, අවසානයේදී එය නැවතත් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පැත්තට හැරී ගියේය. ෂායි හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් අතර පස්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 174ක සම්බන්ධතාවය හේතුවෙන් කොදෙව්වෝ පරාජයේ අවදානමෙන් බොහෝ දුරට මිදී සිටිති.

තෙවැනි දිනය වූ 06 දා තරගය අවසන් කරන වන විට බටහිර ඉන්දීය කොදෙව් පිල තවමත් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 231ක් පසුපසින් සිටියද, පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් බේරීමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 31ක් පමණි. කෙසේ වෙතත්, තරගයේ එක් අවස්ථාවක කොදෙව් පිල කිසියම් අසීරුතාවයකින් සිටින බව පෙනී ගියද, හෝප් සහ ග්‍රීව්ස්ගේ සම්බන්ධතාවය එම බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම බිද දැම්මේය.

දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි විනයකින් යුතුව පන්දු යවමින් කොදෙව් පිල පීඩනයට පත් කළ අතර ජෝන් කැම්බල් සහ කේවම් හොජ් ඉවසීමෙන් පිතිකරණයේ නිරත වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 234කදී ලකුණු 89ක සබඳතාවක් ගොඩනැගූහ. එහෙත් දිවා ආහාරයට මඳ වේලාවකට පෙර අසිත ප්‍රනාන්දුගේ කෙටි පන්දුවක් පුල් පහරක් එල්ල කිරීමට ගිය කැම්බල් උඩපන්දුවක් ලබාදී ලකුණු 36කට දැවී ගියේය.

දිවා ආහාරයෙන් පසු තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වෙත හැරෙන බවක් පෙනී ගියේ ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ට දඟ පන්දු යැවීම හේතුවෙනි. ඔහු මුලින්ම අමීර් ජැන්ගූ ලකුණු 25කට දවා ගත් අතර ඉන් අනතුරුව ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කළ කේවම් හොජ්ගේ ඉනිමද ලකුණු 31කට නිමා කළේය. ඒ වන විට කොදෙව් පිල කඩුලු 4ක් දැවී ලකුණු 141ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකාව තවත් කඩුලු කිහිපයක් ලබා ගතහොත් කොදෙව් ඉනිම පීඩනයකට ලක් කිරීමේ අවස්ථාවක් නිර්මාණය වී තිබිණ.

එහෙත් එම සියලු බලාපොරොත්තු බිඳ දැමු ෂායි හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් දෙදෙනා කිසිදු අනවශ්‍ය අවදානමක් නොගෙන, ලකුණින් ලකුණු ලබා ගනිමින් ඉනිම ගොඩනැගූහ. අවස්ථාව ලැබුණු විට හතරේ සීඹාව කරා පන්දුව යවමින්  ලකුණු රැස් කළ ඔවුන්, තෙවැනි සැසිය පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එකදු කඩුල්ලක්වත් ලබා නොදෙමින් තරගයේ පාලනය නැවත ශ්‍රී ලංකා පිලෙන් තමන් වෙත රැගෙන ගෙන ගියහ.

දිනය නිමාවන විට හෝප් පන්දු 173කින් නොදැවී ලකුණු 86ක්ද, ග්‍රීව්ස් පන්දු 162කින් නොදැවී ලකුණු 85ක්ද රැස් කර සිටියහ. ඔවුන්ගේ නොබිඳුණු ලකුණු 174ක සම්බන්ධතාවය හේතුවෙන් කොදෙව් පිල කඩුලු 4ක් දැවී ලකුණු 327ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට තවත් ලකුණු 231ක් පසුපසින් පසුවෙයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 139.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 549 යි – (ළහිරු උදාර 188, නිශාන් මදුෂ්ක 06, දිනේෂ් චන්දිමාල් 01, කමිඳු මෙන්ඩිස් 84, ධනංජය ද සිල්වා 33, කුසල් මෙන්ඩිස් 69, සොනාල් දිනූෂ 92, මිලාන් රත්නායක 15, ප්‍රභාත් ජයසූරිය 17*, ඉසිත විජේසුන්දර 14,  ජේඩන් සීල්ස් 98/2, ශමර් ජෝසප් 98/2, අල්සාරි ජෝසප් 98/1, ඇන්ඩර්සන් ෆිලිප් 72/1, ජස්ටින් ග්‍රීව්ස් 43/1, රොස්ටන් චේස් 99/1, කවෙම් හොජ් 26/1)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 111 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 318 යි – (ජෝන් කැම්ප්බෙල් 72, බ්‍රැන්ඩන් කිං 17, කවෙම් හොජ් 31, අමීර් ජැංගු 09, ෂායි හෝප් 86*, ජස්ටින් ග්‍රීව්ස් 85* අසිත ප්‍රනාන්දු 74/2, ප්‍රභාත් ජයසූරිය 77/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee