slc
logo
Home   |    News
ජූලි 23, 2026
පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති

sinhala editor

සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 210ක් රැස් කළේය.

ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න පන්දු 38කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 28ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර, නායිකා චමරි අතපත්තු ඉනිම පාලනය කරමින් පන්දු 67කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 46ක් රැස් කළාය. අනතුරුව හසිනි පෙරේරා පන්දු 63කදී ලකුණු 35ක් ලබා දුන් අතර, කවීෂා දිල්හාරි ද පන්දු 46කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 35ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළාය.

අවසන් පන්දුවාර කිහිපයේදී නිලක්ෂිකා සිල්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50කදී හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 46ක් රැස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා ළඟා වීමට හැකි විය. කෙසේ වෙතත්, මැදපෙළ පිතිකාරිනියන් අතරින් හර්ෂිතා සමරවික්‍රමට ලකුණු 2කට දැවී යාම සහ අනෙකුත් පිතිකාරිනියන්ට ආරම්භය විශාල ඉනිම් බවට පත්කර ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකාවට බලපෑවේය.

පාකිස්තානය වෙනුවෙන් වමත් දඟ පන්දු යවන නෂ්රා සන්ධු ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතම පන්දු යවන්නිය වූ අතර, ටස්මියා රුබාබ් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තාය. උම්මේ හනී, සයෙදා අරූබ් ෂා සහ නායිකා ෆාතිමා සනා කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්තානය පන්දුවාර 43ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 211ක් රැස් කරමින් පහසු ජයක් හිමිකර ගත්තේය.

එහිදී ආරම්භක පිතිකාරිනී ගුල් ෆෙරෝසා පන්දු 77කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 78ක් රැස් කරමින් ජයග්‍රාහී ඉනිමේ පදනම දැමුවාය. අංක තුන පිතිකාරිනී සිද්රා අමීන් පන්දු 94කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 57ක් රැස් කරමින් ඇයට විශිෂ්ට සහායක් ලබා දුන්නාය. අවසන් අදියරේදී අයේෂා සෆර් නොදැවී ලකුණු 27ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 37කට කඩුලු 2ක් දවා ගනිමින් සාර්ථකම පන්දු යවන්නිය වූ අතර, චමරි අතපත්තු, ඉනෝකා රණවීර සහ නිමෂා මීපගේ කඩුල්ල බැගින් දවා ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, දෙවැනි එක්දින තරගය ද හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී 210

(චමරි අතපත්තු 46, නිලක්ෂිකා සිල්වා නොදැවී 46, හසිනි පෙරේරා 35, කවීෂා දිල්හාරි 35, විශ්මි ගුණරත්න 28, නෂ්රා සන්ධු 42/3, ටස්මියා රුබාබ් 34/2)

පාකිස්තාන කාන්තා කණ්ඩායම – පන්දුවාර 43දී කඩුලු 5ක් දැවී 211

(ගුල් ෆෙරෝසා 78, සිද්රා අමීන් 57, අයේෂා සෆර් නොදැවී 27, නජීහා අල්වි 13, කවීෂා දිල්හාරි 37/2, චමරි අතපත්තු 23/1, ඉනෝකා රණවීර 42/1, නිමෂා මීපගේ 39/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee