වේගපන්දු යවන ක්‍රීඩක ගුර්නූර් බ්‍රාර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 209කට සීමා කළ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම, ලකුණු 33ක පහසු ඉලක්කයක් හඹා ගොස් ජය වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස අද (05 දා) පස්වරුවේදී ජය වාර්තා කළේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සහ අවසන් නිල නොවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට ඉන්දියා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 541ක් රැස් කර තිබූ අතර ඉනිම ලකුණු 541කට නිමා විය. එහිදී සායි සුදර්ශන් ලකුණු 168ක් රැස් කළ අතර දේව්දත් පඩික්කාල්, ධෘව් ජුරේල් සහ සරන්ෂ් ජේන් අර්ධ ශතක ලබාගත්හ. දකුණත් පිට දඟ පන්දු පන්දු යවන කේෂර නුවන්යත විසින් ෂ් ඨාකූර් දවා ගැනීමත් සමඟ ඉනිම අවසන් වූ අතර, තෙවැනි දිනයේදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ රුටුරාජ් ගයික්වාඩ් යළි පිටියට නොපැමිණියේය.
මාතර ශාන්ත සර්වේෂන් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්රවිශ්ඨ වී සිටින කේශර නුවන්ත බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නේය. මෙය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ කඩුලු 5 ක් දවා ගත් දෙවැනි අවස්ථාව වශයෙන් සනිටුහන් විය.
ඉනිමකින් පරාජය වළක්වා ගැනීමේ අරමුණින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ පිලට සාර්ථක ආරම්භයක් හිමි නොවීය. ආකීබ් නබී, යෂ් තාකූර් සහ විශේෂයෙන්ම ගුර්නූර් බ්‍රාර්ගේ ප්‍රහාර හමුවේ මුල් කඩුලු 4 ලකුණු 49ක් තුළ බිඳ වැටුණු අතර, පළමු ඉනිමේ ශතකලාභී නායක සහන් ආරච්චිගේද එම කඩුලු අතරට එක්විය.
එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමට එකම ශක්තිය බවට පත්වූයේ අශේන් බණ්ඩාරය. 2021 සිට 2023 දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින සහ විස්සයි20 තරග ක්‍රීඩා කළ අශේන් පන්දු 86කින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 87ක් රැස් කළේය. අංජල බණ්ඩාර සමඟ ඔහු ගොඩනැගූ ලකුණු 70ක සම්බන්ධතාවයේදී අංජල ලකුණු 17ක් ලබා දුන්නේය.
නැවත පන්දු යැවීමට පැමිණි බ්‍රාර්, අංජල බණ්ඩාර සහ අශේන් බණ්ඩාර දෙදෙනාම දවා ගැනී නිසා ශ්‍රී ලංකා ඒ පිල කඩුලු 6කට ලකුණු 141 ක් වශයෙන් සටහන් විය. ඉන් අනතුරුව කේෂර නුවන්ත (26), දිලුම් සුදේර (21) සහ අසංක මනෝජ් (නොදැවී 12) පහළ පෙළෙන් යම් දායකත්වයක් ලබා දුන්නද, ඉන්දියාවට හිමි පළමු ඉනිමේ දැවැන්ත වාසිය මකා දැමීමට එය ප්‍රමාණවත් නොවීය. සුදීර දවා ගනිමින් බ්‍රාර් සිය පස්වැනි කඩුල්ල සම්පූර්ණ කළ අතර, දුලාජ් සමුදිතගේ කඩුල්ල දවා ගනිමින් ඉනිම නිමා කරමින් සිය හයවැනි කඩුල්ලද වාර්තා කළේය. සරන්ෂ් ජේන්ද කඩුලු දෙකක් දවා ගත්තේය.
පළමු ඉනිමේ කඩුලු 4ක් දවාගෙන සිටි ගුර්නූර් බ්‍රාර් දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ සමස්ත කඩුලු 10ක් ලකුණු 145කට බිඳ හෙළීය. එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 33ක ඉලක්කය හඹා ගිය ඉන්දියා ‘ඒ’ පිල සායි සුදර්ශන් සහ අමන් මෝඛාඩේගේ පිතිහරඹයෙන් පන්දුවාර 6.2කදී කිසිදු කඩුල්ලක් නොදැවී සම්පූර්ණ කළේය.
මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයගත් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම, මෙම ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තුන්කොන් තරගාවලියද ජයගෙන දෙවැනි ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 366 කදී ලකුණු 366 යි – (සහන් අරච්චිගේ 127, නුවනිඳු ප්‍රනාන්දු 44, අංජල බණ්ඩාර 42, පවන්ත වීරසිංහ 39, අශේන් බණ්ඩාර 34, සෝහන් ද ලිවේරා 28, චාමික ගුණසේකර 13, කේෂර නුවන්ත 01, දිලුම් සුදීර 20, දුලාජ් සමුදිත 02*, අසංක මනෝජ් 04, යෂ් තාකූර් 46/2, සරන්ෂ් ජේන් 92/4, ගුර්නූර් බ්‍රාර් 77/4)
ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 143.3 කදී සියලු දෙනා දැවී ලකුණු 543 යි – (සායි සුදර්ශන් 168, අමන් මඛෝඩේ 38, දෙව්දත් පඩික්කාල් 94, රුටුරාජ් ගයික්වාඩ් 13, ධෘව් ජුරෙල් 53, ශයික් රශීඩ් 45, සාරාන්ෂ් ජේන් 70*, ආයුකීබ් නබී 30, කේෂර නුවන්ත 159/5, දිලුම් සුදීර 102/3, සහන් ආරච්චිගේ 20/1)
ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිම පන්දුවාර 48.3 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (අෂේන් බණ්ඩාර 87, අංජල බණ්ඩාර 17, කේෂර නුවන්ත 26, දිලුම් සුදීර 21, පවන්ත වීරසිංහ 01, සොහාන් ද ලිවේරා 02, නුවනිඳු ප්‍රනාන්දු 05, චාමික ගුණසේකර 08, දුලාජ් සමුදිත 03, අසංක මනෝජ් 12*, ගනූර් බ්‍රාර් 68/6, සර්නාෂ් ජේන් 66/2, ආකිබ් නබී 17/1, යෂ් ඨාකූර් 16/1)
ඉන්දීය ‘ඒ‘ දෙවැනි ඉනිම පන්දුවාර 6.2 කදී කිසිවකු නොදැවී ලකුණු 36 යි – (සායි සුදර්ශන් 25*, අමන් මොඛඩේ 11*)






