slc
logo
Home   |    News
ජූලි 25, 2026
හර්ෂිතා – විශ්මි වාර්තාගත සබඳතාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්; තරගාවලිය 1-1ක් ලෙස සම වෙයි

sinhala editor

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25) පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයේදී හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න දෙදෙනාගේ වාර්තාගත දෙවැනි කඩුල්ලේ සබඳතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවිය. එම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 273ක් රැස් කළේය. එහිදී ආරම්භක පිතිකාරි සිද්‍රා අමින් පන්දු 120කදී හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 100ක් රැස් කරමින් සිය කණ්ඩායමට සටන්කාමී මුළු ලකුණු සංඛ්‍යාවක් හිමිකර දුන්නාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු, චේතනා විමුක්ති, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්හ.

ඒ අතුරින් වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර මෙම තරගයේ දී සිය 100 වැනි එක්දින ජාත්‍යන්තර කඩුල්ල වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. ඇය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වූයේ එක්දින තරග 94ක ඉනිම් 89කට ක්‍රීඩා කරමිනි. ශ්‍රී ලංකා කාන්තා එක්දින ඉතිහාසයේ කඩුලු 100 සීමාව පසු කළ දෙවැනි පන්දු යවන්නිය ලෙස ඉනෝකා ඉතිහාසයට එක් වූ අතර, මීට පෙර එම දස්කම කළ එකම ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන වන අතර ඇය කඩුලු 124ක් දවාගෙන තිබේ.

ලකුණු 274ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ආරම්භයේදීම එක් කඩුල්ලක් අහිමි වුවද, ඉන් අනතුරුව පිටියේ එක්වූ හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න පාකිස්තාන පන්දු යවන්නියන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට හරවා ගත්හ.

ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා පන්දු 211කින් ලකුණු 203ක අතිවිශිෂ්ට සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ ඉහළම සබඳතාව පිහිටුවූහ. එම වාර්තාගත සබඳතාව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ප්‍රධානතම සාධකය බවට පත්විය.

විශ්මි ගුණරත්න පන්දු 123කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟ අනර්ඝ ලකුණු 123ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම පන්දු 119කදී හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබා ගනිමින් සිය දෙවැනි එක්දින ශතකය වාර්තා කළාය. ශ්‍රී ලංකාව පන්දුවාර 46.5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.

කෙටි ලකුණු සාරාංශය

පාකිස්තානය – කඩුලු 5ක් දැවී 273 (50)
සිද්‍රා අමින් නොදැවී 100, චමරි අතපත්තු 1, චේතනා විමුක්ති 1, ඉනෝකා රණවීර 1, කවීෂා දිල්හාරි 1.

ශ්‍රී ලංකාව – කඩුලු 2ක් දැවී 274 (46.5)
විශ්මි ගුණරත්න 123, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 100)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee