slc
logo
Home   |    News
අගෝස්තු 5, 2026
කැන්ඩි රෝයල්ස් කුසලාන ගමන නිමයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරග වටය වන ඉවත් කිරීමේ (Eliminator) තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 68කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම අවසන් මහ තරගයට එක් කඩඉමක් පසුපසින් වන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර, කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ මෙවර තරගාවලියේ ගමන එතැනින්ම අවසන් විය. ඒ අනුව කලම්බු පිලට අගෝස්තු මස 07 වැනිදා පැවැත්වීමට නියමිත එම තරගයේදී ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවනු ඇත. එම තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කලම්බු කැප්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 203ක් රැස් කළේ තරගයේ පාලනය මුල සිටම සියතට ගනිමිනි.

ආරම්භයේදීම රූබින් හර්මන් සහ සධීර සමරවික්‍රමගේ කඩුලු දෙක ලකුණු 13ක් තුළ අහිමි වුවද, බෙන් මැක්ඩර්මට් සහ නායක කමිඳු මෙන්ඩිස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් සබඳතාවක් ගොඩනඟමින් ඉනිම යළි ස්ථාවර කළහ. මැක්ඩර්මට් පන්දු 39කින් හතරේ පහරක් සහ හයේ පහර 7ක් සමඟ ලකුණු 71ක් රැස් කරමින් කැන්ඩි පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. කමිඳු මෙන්ඩිස් පන්දු 16කින් ලකුණු 28ක් රැස් කළ අතර, ඉන් අනතුරුව ජනිත් ලියනගේ පන්දු 19කින් ලකුණු 32ක් සහ ජේම්ස් නීෂම් පන්දු 23කින් නොදැවී ලකුණු 42ක් රැස් කරමින් අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූහ.

කැන්ඩි රෝයල්ස් වෙනුවෙන් ෂහීන් ශා අෆ්රිඩි, නුවන් තුෂාර සහ සහීර් ඛාන් කඩුලු දෙක බැගින් දවා ගත්තද, අනෙක් පන්දු යවන්නන්ට කොළඹ පිතිකරුවන්ගේ ප්‍රහාරය පාලනය කිරීමට නොහැකි විය.

ලකුණු 204ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කැන්ඩි රෝයල්ස් පිළිතුරු ඉනිම ආරම්භයේදී ලහිරු උදාර සහ පවන් සන්දේශ් හොඳ වේගයකින් ලකුණු රැස් කළහ. සන්දේශ් පන්දු 14කින් ලකුණු 21ක් රැස් කර පිටියෙන් ඉවත් වූ අතර, උදාර සිය අර්ධ ශතකය පන්දු 34කින් සම්පූර්ණ කරමින් පන්දු 36කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 50ක් රැස් කළේය.

කෙසේ වෙතත් ඉගලගමගේගේ දැවී යාමත් සමඟ කැන්ඩි ඉනිම සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. මැද පෙළ පිතිකරුවන් කිසිවෙකුටත් වගකීමක් භාරගෙන දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ලකුණු 93ට කඩුලු 4ක් ලෙස සිටි කැන්ඩි කණ්ඩායම අවසන් පන්දුවාර අට තුළ කඩුලු 7ක් ලකුණු 42ක් තුළ අහිමි කර ගනිමින් පන්දුවාර 18.4කදී ලකුණු 135කට සියල්ලන්ම දැවී ගියේය.

කොළඹ කැප්ස් පන්දු යැවීමේදී වනුජ සහන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4 තුළ ලකුණු 8ක් පමණක් ලබාදී කඩුලු 2ක් දවා ගත්තේය. මල්ෂ තරුපති, මිලාන් රත්නායක, මුජීබ් උර් රහ්මාන් සහ ශහ්නවාස් ඩහානි ද කඩුලු දෙක බැගින් දවා ගනිමින් කැන්ඩි පිති පෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළහ.

මෙම ජයග්‍රහණයත් සමඟ කොළඹ කැප්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් තරග වැදුණු කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ LPL 2026 තරගාවලියේ ගමන අවසන් විය. තරගාවලිය පුරා ලහිරු උදාර සහ පවන් සන්දේශ් වැනි පිතිකරුවන් අවස්ථා කිහිපයකදී දස්කම් දැක්වුවද, මැද පෙළේ අසාර්ථකත්වය සහ පන්දු යැවීමේදී ප්‍රතිවාදීන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාදීම කැන්ඩි කණ්ඩායමට තීරණාත්මක ලෙස බලපෑ අතර, අවසානයේ එම දුර්වලතාම ඔවුන්ගේ තරගාවලියේ නිමාව සනිටුහන් කළේය.

කලම්බු කැප්ස් – 203/7 (පන්දුවාර 20)
බෙන් මැක්ඩර්මට් 71 (39), ජේම්ස් නීෂම් නොදැවී 42 (23), ජනිත් ලියනගේ 32 (19), කමිඳු මෙන්ඩිස් 28 (16), සධීර සමරවික්‍රම 10 (9), ෂහීන් ශා අෆ්රිඩි 39/2, නුවන් තුෂාර 31/2, සහීර් ඛාන් 32/2

කැන්ඩි රෝයල්ස් – 135 (පන්දුවාර 18.4)
ලහිරු උදාර 50 (36), පවන් සන්දේශ් 21 (14), ඉෆ්තිකාර් අහමඩ් 15 (12), ඇන්ජලෝ මැතිව්ස් 14 (10), වනුජ සහන් 8/2, මුජීබ් උර් රහ්මාන් 41/2, මල්ෂ තරුපති 23/2, මිලාන් රත්නායක 23/2, ශහ්නවාස් දහානි 16/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee