slc
logo
Home   |    News
අගෝස්තු 2, 2026
‘නව තරුවක‘ උදාවත් සමඟ ශ්‍රී ලංකාවට වසර 12කට පසු පාකිස්තානයට එරෙහි විස්සයි-20 තරගාවලි ජයක්

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකාවක වන සංජනා කාවින්දි, සිය මංගල ජාත්‍යන්තර විස්සයි-20 තරග වරම ලද තරගයේදීම පන්දු 24කින් වේගවත් ලකුණු 46ක් රැස් කරමින් පාකිස්තානයට එරෙහි පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නාය. ඒ සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (2) පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තරගයක් ඉතිරිව තිබියදීම තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

මෙම තරගාවලි ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව විස්සයි-20 ජාත්‍යන්තර ද්විපාර්ශ්වික තරගාවලියක් ජය ගැනීමට වසර 12 කට පසුව සමත් විය. අවසන් වරට ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව එවැනි තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2014/15 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියේදී වන අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කර තිබිණි.

සිය මංගල ජාත්‍යන්තර තරගයේදීම කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ සංජනා කාවින්දි, පන්දු 24කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 46ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නාය. එම දක්ෂතාවය වෙනුවෙන් ඇය සිය මංගල තරගයේදීම තරගයේ වීරවරිය සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනූ 61 වැනි ක්‍රීඩිකාව වන සංජනා, සිය ජාත්‍යන්තර ගමන ආරම්භ කළේම සුවිශේෂී සටහනක් තබමිනි.

ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 ඉතිහාසයේ මංගල තරගයේදීම තරගයේ වීරවරිය සම්මානය දිනාගත් ක්‍රීඩිකාවන් අතරට සංජනා කාවින්දිද එක්වූවාය. මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ මල්කි මදාරා වන අතර, ඇය 2025 වසරේ නවසීලන්තයට එරෙහි සිය මංගල T20I තරගයේදී කඩුලු 3ක් දවා ගනිමින් එම සම්මානය දිනා ගත්තාය.

ගාල්ල, රත්ගම ප්‍රදේශයේ දේවපතිරාජ ජාතික පාසල නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ සංජනා, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් වසර කිහිපයක් පුරා සිය හැකියාවන් ප්‍රදර්ශනය කළාය. කඩුලු රකින්නියක සහ පිතිකාරිනියක ලෙස කටයුතු කරන ඇය, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපනායිකාව ලෙසද කටයුතු කර තිබේ.

2008 නොවැම්බර් මස 25 වැනිදා උපත ලද සංජනා වමතින් පන්දුවට පහරදෙන අතර යොවුන් කණ්ඩායම් මට්ටමේදීද ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් කැපී පෙනුණු ක්‍රීඩිකාවක් වන්නීය. එම දක්ෂතා හේතුවෙන් පාසල් වයසේදීම ඇයට ජාතික කණ්ඩායම දක්වා ඉදිරියට පැමිණීමට සමත් වූවාය.

ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව ඕවර 17.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් රැස් කරමින් ජය තහවුරු කර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් අදියර ශක්තිමත් කළ නායිකා චමරි අතපත්තු පන්දු 15කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 40ක් රැස් කළාය. එම ඉනිමත් සමඟ ඇය කාන්තා ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ලකුණු 4000 සීමාව පසු කළ ලොව සිව්වැනි පිතිකාරිණිය බවට පත්වූවාය.

චමරිට පෙර මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසුකර තිබුණේ නවසීලන්තයේ සුසී බේට්ස් (4758), ඉන්දියාවේ ස්මිත්‍රී මන්ධනා (4538) සහ හර්මන්ප්‍රීත් කෞර් (4216) පමණි.

සංජනා කාවින්දි සහ විශ්මි ගුණරත්න එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 53ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට අඩිතාලම දැමූහ. විශ්මි ගුණරත්න ලකුණු 31ක් රැස් කළ අතර, අවසන් අදියරේදී හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 37ක් සහ කවිෂා දිල්හාරි නොදැවී ලකුණු 14ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ඊට පෙර කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 175ක් රැස් කළේය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ෂවාල් සුල්ෆිකාර් වන අතර, ඇය පන්දු 35කදී ලකුණු 48ක් රැස් කළාය. නායිකා මුනීබා අලී පන්දු 30කදී ලකුණු 45ක් ලබාගත් අතර, එයිමන් ෆාතිමා නොදැවී ලකුණු 30ක් රැස් කළාය.

ශ්‍රී ලංකා පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා ලකුණු 27කට කඩුලු 2ක් දවා ගනිමින් කැපී පෙනුණු අතර, සුගන්දිකා කුමාරි, කවිෂා දිල්හාරි සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් දවා ගත්හ.

පාකිස්තාන කාන්තා කණ්ඩායම – 175/5 (ඕවර 20)
මුනීබා අලී 45 (30), ෂවාල් සුල්ෆිකාර් 48 (35), එයිමන් ෆාතිමා නොදැවී 30 (19), චමුදි ප්‍රබෝධා 27/2, සුගන්දිකා කුමාරි 37/1, කවිෂා දිල්හාරි 29/1

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 178/4 (ඕවර 17.4)
සංජනා කාවින්දි 46 (24), චමරි අතපත්තු 40 (15), හර්ෂිතා සමරවික්‍රම නොදැවී 37 (22), විශ්මි ගුණරත්න 31 (29), උම්මේ හනී 28/2, වහීදා අක්තාර් 24/1, අයේෂා සෆාර් 24/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee