ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ අවසන් මහා තරග තුනකට පිවිසියද, ඒ සෑම අවස්ථාවකදීම කිරුළ අහිමිව අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු වූ ගෝල් කණ්ඩායම, සිව්වැනි උත්සාහයේදී අවසානයේ සියලු අතීත වේදනා අමතක කරමින් එල්.පී.එල්. කිරුළ තමන් සතු කරගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (8) පැවැති හයවැනි ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහ තරගයේදී තරගාවලි ඉතිහාසයේ වැඩිම ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් ගෝල් ක්‍රීඩකයෝ ඉතිහාසයේ පළමු වතාවට එල්.පී.එල්. ශූරයන් බවට පත්වූහ.
වසර ගණනාවක් පුරා අවසන් මහා තරගයේ දොරකඩටම පැමිණ කිරුළ අහිමි වූ ගෝල් කණ්ඩායමට මෙවර එම අතීතය වෙනස් කිරීමට තිබුණේ එක් අවසන් පියවරක් පමණි. එම පියවර සාර්ථකව තැබූ ගෝල් ක්‍රීඩකයෝ, සිව්වැනි අවසන් තරගයේදී අනුශූරතාවයේ සෙවණැල්ල පසුපසට තල්ලු කරමින්, ගෝල් නාමය එල්.පී.එල්. ශූරතා ඉතිහාසයට එක් කළහ.
ගෝල් කණ්ඩායමේ මෙම ඓතිහාසික ජයග්‍රහණයේ පදනම සැකසුණේ පන්දුවෙන් කළ විශිෂ්ට දස්කම් හේතුවෙනි. චරිත් අසලංක සහ එෂාන් මාලිංග එක්ව කඩුලු 6ක් දවාගනිමින් ජැෆ්නා කිංග්ස් පිතිකරණ බලඇණිය අඩපණ කළ අතර, පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායම ලකුණු 123කට සීමා කිරීමට ගෝල් පන්දු යවන්නෝ සමත් වූහ.
එෂාන් මාලිංග සිය පන්දුවාර හතරේදී ලකුණු 17කට කඩුලු 3ක් දවාගනිමින් ජැෆ්නා මැද පෙළට දැඩි පීඩනයක් එල්ල කළ අතර, එම දස්කමත් සමඟ මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්විය. තරගාවලිය පුරා කඩුලු 17ක් දවාගෙන ඇති මාලිංගගේ පන්දු යැවීමේ ලකුණු ලබාදීමේ වේගය 9.32කි.
මාලිංග සමඟ එක්ව ක්‍රියාත්මක වූ චරිත් අසලංකද ජැෆ්නා මැද පෙළේ කඩුලු තුනක් දවාගනිමින් සිය කාර්යභාරය ඉටු කළේය. දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ ජැෆ්නා ඉනිමේ මැද පෙළ බිඳ වැටුණු අතර, දෙපසටම පන්දු යැවීමේ හැකියාව ඇති තරිඳු රත්නායකද ලකුණු 14කට කඩුලු 2ක් දවාගනිමින් ගෝල් පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කළේය.
ජැෆ්නා ඉනිමේදී ලකුණු 25 සීමාව පසු කිරීමට සමත් වූ එකම පිතිකරුවා වූයේ කමිල් මිශාරය. ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි මිශාර පන්දු 32කදී ලකුණු 41ක් රැස් කරමින් ජැෆ්නා ඉනිමට යම් ස්ථාවරත්වයක් ලබා දුන්නද, 13 වැනි පන්දුවාරයේදී එෂාන් මාලිංගගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය. චමිඳු වික්‍රමසිංහ පන්දු 16කදී ලකුණු 25ක් රැස් කරමින් ජැෆ්නා ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ලකුණු 124ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටද ආරම්භය එතරම් සුමට නොවීය. පළමු පන්දුවාරයේදීම සෑම් හාපර්ගේ කඩුල්ල අහිමි වූ නමුත්, ඔහුගේ ඕස්ට්‍රේලියානු සගයකු වන ටොම් රොජර්ස් පන්දු 27කදී ලකුණු 34ක් රැස් කරමින් ගෝල් ඉනිම ස්ථාවර කළේය.
කෙසේ වෙතත්, නවවැනි පන්දුවාරයේදී ශකීබ් අල් හසන් පිට පිට කඩුලු දෙකක් දවාගැනීමත් සමඟ තරගය යළිත් උණුසුම් විය. ටොම් රොජර්ස් සහ දිනුර කළුපහන එහිදී දැවී ගිය අතර, කළුපහන පන්දු 19කදී වේගවත් ලකුණු 31ක් රැස් කර තිබිණි. ඉන් අනතුරුව චමික කරුණාරත්නද දැවී යාමත් සමඟ ජැෆ්නා කණ්ඩායමට යළි තරගයට පැමිණීමේ අවස්ථාවක් නිර්මාණය විය.
එහෙත් අවසන් මොහොතේ එම බලාපොරොත්තුව බිඳ දැමූ දසුන් ශානක සහ සහන් ආරච්චිගේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. අවසානයේ ගෝල් කණ්ඩායම පන්දුවාර 15.5කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 124ක ඉලක්කය පසුකර ගියේ පන්දු 25ක්ද ඉතිරි කරමිනි.
ඒ අනුව, අවසන් මහා තරග තුනකදී කිරුළ අහිමිව අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවූ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම, සිව්වැනි අවසන් මහා තරගයේදී එම අතීතය වෙනස් කරමින් ඉතිහාසයේ පළමු වරට ලංකා ප්‍රිමියර් ලීග් කිරුළ තමන් සතු කර ගත්තේය. එදා මෙදා තුර අවසන් තරගයේදී අහිමි වූ කිරුළ වෙනුවෙන් ගෝල් කණ්ඩායම ගෙන ගිය අරගලයට අවසානයේ ජයග්‍රාහී නිමාවක් හිමිවිය.
අවසන් මහ තරගයේ වීරයා ලෙසින් චරිත් අසලංක සම්මාන දිනාගනිද්දී තරගාවලියේ වීරයා ලෙසින් කමිල් මිශාර සම්මාන දිනාගත්හ.
ජැෆ්නා කිංග්ස් – පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී 123 යි (අවිශ්ක ප්‍රනාන්දු 20, කමිල් මිශාර 41, ඛවාජා නෆේ 00, තව්හිඩ් රිඩෝයි 10, භානුක රාජපක්ෂ 03, දුනිත් වෙල්ලාලගේ 03, ශකීබ් අල් හසන් 09, චමිඳු වික්‍රමසිංහ 24, මොහොමඩ් ශිරාස් 01, ට්‍රෙවීන් මැතිව් 01, සහූර් ඛාන් 02, චරිත් අසලංක 20/3, තරිඳු රත්නායක 14/2, එෂාන් මාලිංග 25/3, සචිඳු කොළඹගේ 27/1)
ගෝල් ගැලන්ට්ස් – පන්දුවාර 15.5 කදී කඩුලු 5 ක් දැවී 126 යි – (සෑම් හාපර් 01, තෝමස් රොඩර්ස් 34, චරිත් අසලංක 02, දිනුර කලුපහන 31, චාමික කරුණාරත්න 16, සහන් ආරච්චිගේ 14*, දසුන් ශානක 20*, ශකීබ් අල් හසන් 15/2, ට්‍රෙවීන් මැතිව් 15/2, මොහොමඩ් ශීරාස් 25/1)






